වරදක් නොකළ බව කෙහෙළිය කියයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධියේ දී තමා අතින් කිසිදු වරදක් සිදු වී නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කොළඹ දී ඊයේ (22) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වංචාව තවමත් රට තුළ මතු කරමින් ඇත්තේ, ආන්දෝලනාත්මක තත්ත්වයකි.

එම ඖෂධ ආනයනය කළ බව කියන සමාගමේ හිමිකරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු සිව් දෙනෙකු හා සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ද සමඟින් සය දෙනෙකු මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරත කර තිබේ.

නමුත් සෞඛ්‍ය වෘත්තීය සංගම් ඇතුළු විවිධ පාර්ශ්ව චෝදනා කරන්නේ, වංචාවේ මහමොළකරුවන් මෙතෙක් අත්අඩංගුවට පත් ව නොමැති බවයි.

මෙම වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද වගකිව යුතු බවත් ඔහු ද අත්අඩංගුවට ගත යුතු බවත් එම පාර්ශ්ව චෝදනා කරයි.

චෝදනා රැසක් එල්ල වෙමින් තිබිය දී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳ අදහස් පළ කළේය.

කෙසේ නමුත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට පාර්ශ්ව රැසකින් තවමත් දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතියි.

රඹුක්වැල්ල මහතා ඇතුළු 10 දෙනෙකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් සොයා බලන්නැයි ඉල්ලමින් අල්ලස දුෂණයට එරෙහි පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි ඉල්ලා ‘මගෙන් රටට සංවිධානය’ ආගමන විගමන පාලකවරයාගෙන් අද ඉල්ලීමක් කළේය.

මේ අතර, හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඒ අනුව හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධියට අදාළ ව තමා සතු සියලු සාක්ෂි රැගෙන ලබන 28 වැනිදා ඔහුට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දැනුම්දී  ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *