කොරෝනා

ලබන වසරේ සියලුම රාජ්‍ය ආයතන විශේෂ ප්‍රගතියක් අත්කරගනු ඇතැයි අගමැති අපේක්ෂා කරයි

ලබන වසරේ සියලු රාජ්‍ය ආයතන විශේෂ ප්‍රගතියක් අත්කරගත යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

දැනට පාඩු ලබන ආයතන ලබන වසරේ ලාභ ලබන ආයතන බවට පත් කිරීමට සියලු නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පැවසීය.

ග‍්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ආයතනවල තෙවැනි කාර්තුවේ ප‍්‍රගති සමාලෝචනයට පසුගිය සිකුරාදා (26) අරලියගහ මන්දිරයේ දී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා උත්සවයේ අරමුණ පැහැදිලි කළ අතර අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා මෙතෙක් ලබා ඇති සමස්ත ප්‍රගතිය සාරාංශ කළේය.

සීමාසහිත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ජාතික උපකරණ සහ යන්ත්‍රෝපකරණ සංවිධානය සහ Oceanview Development (Pvt.) Ltd යන ආයතනවල ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරයාට ඔවුන්ගේ ආයතනවල ප්‍රගතිය දැක්වූහ.

මෙම අභියෝගාත්මක කාලය තුළ වැඩ අඩාල වීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා මාර්ගයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගෙන නීත්‍යානුකූලව අදාළ කටයුතු අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම හමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *