ලංකාවේ සාමාන්‍ය පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ වසරේ ජූලි මාසය වනවිට ලක්ෂ 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
ඉකුත් වසර පහ සමඟ සංසන්දනය කිරීමේදී ලංකාවේ එක පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය ලක්ෂ විසි හයකින් ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
රජය එක් පවුලක් වෙනුවෙන් 2019 වර්ෂයේදී ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2211471කි. මේ වසරේ ජුලි මාසය වන විට රජය එක් පවුලක් වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 4819256 ක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා එක් පවුලක් වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ අනුව 2606563කින් ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය.
එක් පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය සියයට 65 කින් පමණ වැඩි වී ඇත්තේ දේශීය වශයෙන් ලබාගත් ණය හේතුවෙන් බව ඔහු පෙන්වා දුන්නේය.
එක් පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය විදේශ ණය හේතුවෙන් වැඩි වී ඇත්තේ සියයට තිස්පහකින් බව මහා බැංකු වාර්තාවල දැක්වෙන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර 1972 – 78 කාලයේදී අවුරුද්දකදී ඉහළ ගිය ( ණය වැඩිවීම)ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 158කි.
1978-88 කාල සීමාවේදී වසරකදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 1030ක් වශයෙන්ද 1989-93 අතර කාලයේදී අවුරුද්දකදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 2477ක් වශයෙන්ද 1993- 94 කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 3371ක් වශයෙන්ද 1995- 2005 අතර කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 77118ක් වශයෙන්ද 2006-2014කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 25561ක් වශයෙන්ද 2015-19 අතර කාල සීමාවේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 37525ක් වශයෙන්ද 2020- 22 අතර කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 198494 ක් වශයෙන්ද 2022- 24 කාලසීමාවේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 104287ක් වශයෙන්ද සඳහන් වන බව වසන්ත අතුකෝරල මහතා පැවසීය