රෝහල් ඇඳේදී කස්සප හිමි කෝපවෙයි: හිමි ඇතුළු 7ක් 26 දක්වා රිමාන්ඩ්

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස පැවති මාරාන්තික උපවාසයක් අතරතුර ඊයේ (12) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පොලිස් නිලධාරීන්ට වාචිකව බැනවැදී තර්ජනය කරන අයුරු දැක්වෙන බව කියන වීඩියෝ දර්ශන පෙළක් මේ වන විට නිකුත් වී තිබේ.
එම වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ පොලිස් නිලධාරීන් පිරිවරාගෙන රෝහල් ඇඳක් මත සිටින උන්වහන්සේ තමන් සමඟ සිටින පොලිස් නිලධාරීන්ට බැනවදිමින් තර්ජනය කරන ආකාරයයි.
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහ භූමියේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස සහ පූජ්‍ය රාජාංගණේ සද්ධාරතන හිමියන් ඇතුළු ගිහි පිරිසක් අතර හටගත් වාද විවාදයකින් හා උණුසුම් තත්ත්වයකින් පසුව, කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන් නමක් ඊයේ පොලිස් භාරයට ගැනිණි.
කස්සප හිමි ඇතුළු 7ක් නොවැම්බර් 26 දක්වා රිමාන්ඩ්
මේ අතර, අනුරාධපුර පූජා නගරයේ පැවති මෙම විරෝධතාවට සම්බන්ධ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හත්දෙනෙකු (07) එළඹෙන නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පූජා නගර පරිශ්‍රයේ විරෝධතාව දිගටම පවත්වාගෙන යමින් මීට පෙර නිකුත් කර තිබූ අධිකරණ නියෝග උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා මත මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කෙරිණි.




