Saturday, 14 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ගවයින් බිලිගත්තේ බැක්ටීරියාවක්: එන්නත්කරණය ඇරඹෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මැදවච්චිය ප්‍රදේශයේ මී ගවයින් 42 දෙනෙකු මියයාමට හේතු වූ මෙතෙක් හඳුනා නොගත් අභිරහස් රෝගය බැක්ටීරියා ආසාදනයක් බව පශු වෛද්‍ය බලධාරීන් විසින් හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

‘දිනමිණ’ පුවත්පත වාර්තා කරන අන්දමට, රෝගාතුර වූ සතුන්ගෙන් ලබාගත් සාම්පල ඇසුරින් සිදුකළ රසායනාගාර පරීක්ෂණවලදී මෙම රෝගයට හේතුව ‘ක්ලොස්ට්‍රිඩියම්’ (Clostridium) ගණයට අයත් බැක්ටීරියා විශේෂයක් බව තහවුරු වී තිබේ.

අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල පශු වෛද්‍ය විමර්ශන නිලධාරීන් විසින් මියගිය සතුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇති අතර, වැඩිදුර විශ්ලේෂණය සඳහා අදාළ සාම්පල ගන්නෝරුවේ පිහිටි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබිණි.

රෝගය පාලනය කෙරේ; එන්නත්කරණයට සූදානම්

මේ වන විට රෝගය මුලින්ම හඳුනාගත් ගොවිපොළ තුළ රෝග ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව මැදවච්චිය පශු වෛද්‍ය කාර්යාලය තහවුරු කරයි.

ඉදිරියේදී රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා අධි අවදානම් කලාපවල සිටින එළ ගවයින් සහ මී ගවයින් එන්නත් කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය එන්නත් තොග දැනටමත් ලැබී ඇති බව පශු වෛද්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

බෝවන ආකාරය සහ ගොවීන්ට උපදෙස්

මෙම රෝගය එක් සතෙකුගෙන් තවත් සතෙකුට සෘජුවම බෝ නොවන නමුත්, බැක්ටීරියාවෙන් අපවිත්‍ර වූ තණකොළ හෝ ජලය පානය කිරීමෙන් වැළඳෙන බව පශු වෛද්‍ය බලධාරීහු පැහැදිලි කරති.

ඒ අනුව, රෝගාතුර වූ මී ගවයින් මීට පෙර රඳවා සිටි ප්‍රදේශවල තම ගවයින් තණ කෑම සඳහා නොයවන ලෙස ගොවීන්ට උපදෙස් දී ඇත. රෝගය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ සතුන් ප්‍රවාහන කටයුතුද මේ වන විට යළි ආරම්භ කර ඇති බව පශු වෛද්‍ය කාර්යාලය වැඩිදුරටත් තහවුරු කළේය.

ඔබේ අදහස