රුමේෂ් තරංගගේ ලෝක අංක 1 ස්ථානයට ජර්මනියේ ජූලියන් වෙබර්ගෙන් දැඩි අභියෝගයක්

ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගගේ ලෝක අංක 1 ශ්‍රේණිගත කිරීම ජර්මනියේ ජූලියන් වෙබර්ගේ දැවැන්ත දස්කම හේතුවෙන් අවදානමකට ලක්ව තිබේ.

ලෝක ශ්‍රේණිගත කිරීම්හි මේ වනවිට අංක 2 ස්ථානයේ පසුවන වෙබර්, සෙනසුරාදා (15) පැවති යුරෝපා මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 90.40ක දැවැන්ත දුරක් හෙල්ල විසි කරමින් වාර්තා කළේය.

රුමේෂ්ගේ සමීපතම ප්‍රතිවාදියා වන වෙබර්ගේ මෙම දස්කම හේතුවෙන් මීළඟ World Athletics ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමේදී ඔහුට වැඩි ශ්‍රේණිගත ලකුණු හිමිවිය හැකි අතර, එමගින් රුමේෂ්ගේ ලෝක අංක 1 ස්ථානයට දැඩි අභියෝගයක් එල්ල විය හැකිය.

කෙසේ වෙතත්, World Athletics ශ්‍රේණිගත කිරීම තීරණය වන්නේ ක්‍රීඩකයෙකුගේ හොඳම විසි කිරීමේ දුර පමණක් පදනම් කරගෙන නොවේ. සුදුසුකම් ලබන තරගවල දස්කම් ලකුණු සහ තරග ස්ථාන ලකුණු ඇතුළු සාධක ගණනාවක් ඒ සඳහා සැලකිල්ලට ගනු ලබයි. එබැවින් වෙබර් අංක 1 ස්ථානයට පත්වන්නේද යන්න නිල ගණනයෙන් පසුව තීරණය වනු ඇත.

රුමේෂ් සහ වෙබර් අතර මෙම සටන තවදුරටත් උණුසුම් වීමට නියමිත අතර, දෙදෙනාම අගෝස්තු 21 වැනිදා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන Lausanne Diamond League තරගාවලියට සහභාගී වීමට නියමිතය.

එහිදී වෙබර්ට වඩා ඉදිරියෙන් තරගය අවසන් කිරීමට රුමේෂ් සමත් වුවහොත්, ඔහුගේ ලෝක අංක 1 ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගැනීමට එය වැදගත් අවස්ථාවක් වනු ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණි රුමේෂ්ගේ අංක 1 ස්ථානය රැකගැනීමේ සටනේදී Lausanne තරගාවලියට මේ වනවිට විශේෂ වැදගත්කමක් හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *