දෙමාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගේ අවසරයකින් තොරව දරුවන්ගේ ප්‍රකාශ පටිගත කිරීම හෝ ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය ආයතන වෙත අනතුරු ඇඟවීමක් කර ඇති බව වාර්තා වේ.
මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත ලබාදුන් අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව ඔවුන් උපහාසයට හා අපහාසයට ලක්වීම සම්බන්ධයෙන් ඇති වූ කනස්සල්ල හේතුවෙනි.
විභාගයෙන් අනතුරුව දරුවන් මාධ්‍ය වෙත පළ කළ ඇතැම් ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ උපුටා දක්වමින් හා බෙදාහරිමින් ඔවුන් සමච්චලයට ලක්වන ආකාරයෙන් භාවිත කර ඇති අවස්ථා කිහිපයක් නිරීක්ෂණය කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කර ඇත.
දෙමාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගේ අවසරයකින් තොරව දරුවන්ගෙන් අදහස් ලබාගැනීම, ඒවා පටිගත කිරීම හෝ විකාශය කිරීම සඳහා මාධ්‍ය ආයතනවලට අවසර නොමැති බවද අමාත්‍යාංශය අවධාරණය කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම දරුවන් සම්බන්ධ මෙවැනි වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවටද අධ්‍යාපන අමාත්‍යාංශය අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.


