රුපියල් මිලියන 75කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා යාපනයේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 227කට අධික ප්‍රමාණයක් සමඟ 31 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 75කට අධික බව විශ්වාස කෙරේ. මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යොදාගත් ලොරි රථයක් ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ නෞකාව විසින් වඩ්ඩුකොඩ්ඩෙයි පොලිසියේ සහය ඇතිව පොන්නාලෙයි ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදී.

මෙම සෝදිසි මෙහෙයුමේදී නාවික හමුදාව සහ පොලිස් නිලධාරීන් එක්ව මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කර එහි සඟවා තිබූ කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් මෝටර් රථයේ තිබූ ගෝනි 08 ක කේරළ ගංජා ඇසුරුම් 105 ක් තිබූ අතර එහි බර කිලෝග්‍රෑම් 227 යි ග්‍රෑම් 915 ක් පමණ වේ.

සැකකරු බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මත්කුඩු තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වාඩුකෝඩ්ඩෙයි පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *