රුපියල් බිලියන අටකට ආසන්න හෙරොයින් සහ අයිස්

මේ වසරේ මේ දක්වා පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 8කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද පෙරවරුවේ බණ්ඩාරගම ප්‍රදේශයෙන් සොයාගත් රුපියල් කෝටි 40ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 40 සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, එම මත්ද්‍රව්‍ය තොගයත් සමඟ මේ වර්ෂයේ ජනවාරි 1 වන දා සිට මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝ ග්‍රෑම් 473කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවය.

මේ අතර අයිස් වර්ගයේ මත්‍ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බව පැවසු ඒ මහතා එම අයිස් හා හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 8කට ආසන්න බව ද පැවසීය.

මේ අතර හෙරොයින් සම්බන්ධයෙන් මේ වර්ෂයේ අද දින දක්වා සැකකරුවන් 12,890ක් හා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 1,457ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *