“රැවටෙන්න එපා” – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ශ්‍රී ලංකා මහා බැංකුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මෙරට ප්‍රධාන පෙළේ සමාගම් කීපයක නිල ලාංඡන භාවිත කරමින් දිනකට රුපියල් 10,000 සිට 50,000 දක්වා නිවසේ සිට මුදල් ඉපැයිය හැකි රැකියා අවස්ථා තිබෙන බවට පවසමින් ජනතාව නොමග යවනසුළු ව්‍යාජ දැන්වීම් විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය.

එම දැන්වීම්වල ඇති ලින්ක් එක ක්ලික් කළ විට පරිශීලකයාව රැගෙන යන්නේ නිල ලාංඡනය සහිත වෙබ් අඩවියට නොව වෙනත් වෙබ් අඩවියකට බවද ඔහු පැවැසුවේය.

එසේම මෙම දැන්වීම් පළ කරන්නේ ව්‍යාජ මුහුණු පොත් ගිණුම් ඔස්සේ බවත් එහි ඇති ලින්ක් ක්ලික් කර එම වෙබ් අඩවි තුළට සිය පුද්ගලික ලිපිගොනු උඩුගත කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් දමුණුපොළ මහතා පැවැසුවේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල ලාංඡනය සහ නම සහිතව සංසරණය වන දැන්වීම් පිළිබඳව අප පුවත්පත විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළ අතර එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශ කර සිටියේ එම දැන්වීම් ව්‍යාජ ඒවා බවත් මේ පිළිබඳ ජනතාව දැනුවත් කරමින් එම කාර්යාංශයේ නිල මුහුණුපොත් ගිණුමේ සටහනක් තබා ඇති බවත්ය.

මෙය යම් කිසි කණ්ඩායමක් විසින් සිදු කරන්නක් බවත් එවැනි දැන්වීම් වලට ජනතාව නොරැවටිය යුතු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකුවෙන්ද අප පුවත්පත විමසීමක් කළ අතර එහිදී ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කර සිටියේ කිසියම් වංචනිකයන් කණ්ඩායමක් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල ලාංඡන භාවිත කරමින් මුහුණු පොතේ ව්‍යාජ දැන්වීම් පළ කර ඇති බවත් එම වෙබ් අඩවිවලට එරෙහිව අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරියේදී ගනු ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *