එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ නායකයින් ඇතුළු සියලු දෙනාගෙන් පැරණි ගැටුම් අමතක කර නව රටක් ගොඩනැගීමේ නව ගමනට සහය දැක්වීමට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක ඊයේ ඉල්ලීමක් කළා.
ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. රට ඉතා දරුණු ජාතික මට්ටමේ අර්බුදයකට මුහුණ දී සිටින බවද කරුණානායක මහතා පැවසීය. “එයට ආර්ථික දේශපාලන හා සමාජීය ගැටලු තිබෙනවා. මේ ජාතික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනා එකතු වී පොදු ජාතික ප්‍රතිපත්තියක් සහිත නව වැඩපිළිවෙළකට යා යුතුයි. පසුගිය වසර කිහිපයට සාපේක්ෂව ඉතා දරුණු ලෙස පිරිහී තිබූ ආර්ථිකය සහ දේශපාලන වටපිටාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් වෙනස් කර තිබෙනවා.
මිනිසුන්ට හුස්ම ගැනීමට සහ සුවපහසු ලෙස ජීවත් වීමට හැකි පරිසරයක් ඔහු නිර්මාණය කරයි. එදාට වඩා රට හොඳ තැනකට ඇවිත් තිබුණත් අදටත් ජනතාව ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. 2048 වන විට නව සංවර්ධිත රටක් බිහිකිරීමේ වැඩපිළිවෙළ තුළ ඉදිරි වසර කිහිපය තුළ ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීම සඳහා නව ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතුයි.
නව සංවර්ධිත රටක් ගොඩනැගීමට නම් දේශපාලන භේදයකින් තොරව පක්ෂ එකතු විය යුතුයි. හරීන්, මනූෂ, හැරිසන් ගිය මග යන්න හැමෝටම ආරාධනා කරනවා. රනිල්ට ජනාධිපති වෙන්න බෑ කියලා බොරු මතයක් තිබුණා. නමුත් අද ඔහු ජනාධිපති. එක්සත් ජාතික පක්ෂය දෙකඩ කළේ හිටපු ජනාධිපතිවරයකුගේ කුමන්ත්‍රණකාරයෙක්. අද හැමෝටම තේරිලා තියෙනවා මොකද වුණේ කියලා. ඒ නිසා පරණ ගැටුම් අමතක කරලා රට වෙනුවෙන් වැඩ කරන්න ඕන.
එක්සත් ජාතික පක්ෂය හැමදාම රටේ ආර්ථිකය අර්බුදවලින් ගලවාගෙන රට ගොඩනැගුවා. එක්සත් ජාතික පක්ෂය සියලු ආගම්වලට සහ ජාතීන්ට එක හා සමානව සලකන පක්ෂයක්. මේ රටේ ජාති, ආගම්, කුල භේදයකින් තොරව නාගරික මෙන්ම ග්‍රාමීය ජන කොටස් එකමුතු කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවද හෙතෙම පැවසීය.