රජය වී මිලට ගැනීම නවත්වන ලකුණු…

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වී අලෙවි මණ්ඩලයට මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වී මිලදී ගැනීමේ කටයුතු ලබන සතියේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවී ඇත. මේ හේතුවෙන් ඉදිරි සතියේ මහා පරිමාණ වී මෝල් හිමියන් වී මිල විශාල ලෙස අඩුකිරීමේ සූදානමක් පවතින බව ද අනාවරණය වේ.

වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකෙන් රුපියල් බිලියනය බැගින් මණ්ඩලයට ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබූවත් බැංකු දෙක මුදල් දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත.

මණ්ඩලයට රුපියල් බිලියන දෙකක ණය මුදලක් ලබාදීමට නම් මහ බැංකුවේ සහතිකයක් අවශ්‍ය බවට අදාළ බැංකු දැනුම්දී තිබේ. නමුත් මහ බැංකුව මූල්‍ය ණය ලබා ගැනීම සම්බන්ධව රාජ්‍ය ආයතන රැසකට සහතික නිකුත් කර තිබීම හේතුවෙන් වී අලෙවි මණ්ඩලයට සහතිකයක් නිකුත් කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

මණ්ඩලය මෙවර යල කන්නයේ දී මිලදී ගන්නා මෙට්‍රික් ටොන් තිස් දහසක වී තොගය ඇපයට තබාගෙන අදාළ මුදල ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා ඇතත් බැංකු විසින් එය ද ප්‍රතික්ෂේප කර තිබේ.

වී අලෙවි මණ්ඩලය සිය බැංකු ගිණුම රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යන අතර එහි තිබූ මුදල් බැංකුවෙන් ලබාගත් ණය මුදලක වාරික සඳහා හිලව් කරගෙන තිබිණි. මණ්ඩලය අදාළ ණය වාරිකය මෙමස 09 වැනිදා ගෙවීමට නියමිතව තිබිය දී ණය මුදලට ගිණුමේ මුදල් හිලව් කර ගැනීමේ සිද්ධිය පිටුපස මණ්ඩලයේ ඉහළ නිලධාරියකු සහ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයකු ද සිටින බවට පසුගියදා තොරතුරු අනාවරණය විය.

ගිණුමේ මුදල් ණයට හිලව් කර ගැනීමේ හේතුව මත පසුගිය සතියේදී ද වී මිල දීගැනීමේ කටයුතු අඩාළ විය. මේ හේතුවෙන් මෙවර යල කන්නයේ ගොවීන්ගෙන් මිල දී ගත් මෙට්‍රික් ටොන් හත්දහසකට අධික වී ප්‍රමාණයට රුපියල් මිලියන 700 කට අධික මුදලක් ගෙවා ගැනීමට මණ්ඩලයට නොහැකි විය.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, ජනාධිපති ලේකම් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු පිරිසක් අදාළ රාජ්‍ය බැංකුව සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඉකුත් 05 වැනිදා රුපියල් මිලියන 250 ක මුදලක් ද,පෙරේදා (06 වැනිදා) රුපියල් මිලියන 520 ක් ද මණ්ඩලයේ ගිණුමේ තැන්පතුවලින් නිදහස් කරන ලදි.

නමුත් මෙවර යල කන්නයේ දී ගොවීන්ගෙන් මිල දී ගත් වී සඳහා තවත් රුපියල් මිලියන 79 ක මුදලක් මණ්ඩලය ගෙවීමට තිබෙන බව එහි ආරංචි මාර්ග කියයි.

මේ හේතුවෙන් මණ්ඩලය උග්‍ර මූල්‍ය අර්බුදයකට ලක්වීම නිසා ලබන සඳුදා (12 වැනිදා) සිට වී මිල දී ගැනීම නතර කිරීමට සිදුවී ඇත.

වී අලෙවි මණ්ඩලයේ ඉතිහාසයේ යල කන්නයේ අඩුම කාලයක් තුළ දී වැඩිම වී ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ මෙවර යල කන්නයේදීය. යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ඉකුත් අගෝස්තු මස 18 වැනිදා මණ්ඩලය ආරම්භ කළ අතර ඒ අනුව දින 15 ක කාලයකදී මෙට්‍රික් ටොන් 7035 ක් මිලදී ගෙන තිබිණි. සාමාන්‍යයෙන් යල කන්නයක දී මණ්ඩලය මිලදී ගෙන තිබූ වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2000 ත් 3000 ත් අතර ප්‍රමාණයකි.

යල කන්නයේ නාඩු වී කිලෝවක් රුපියල් 120 බැගින් ද සම්බා වී කිලෝවක් රුපියල් 125 බැගින් ද කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 බැගින් ද මණ්ඩලය මිලදී ගත් අතර යල කන්නයේ දී මණ්ඩලය මිලදී ගැනීමට සැලසුම් කර තිබූ සමස්ත වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් තිස් දහසකි. මණ්ඩලය වී මිල ඉහළ දැමීම දැඩි අසාධාරණ බවට වී මෝල් හිමියන් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ද දැඩි ලෙස චෝදනා එල්ල කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *