යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කිරීම අරඹයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40%ක් එක්සත් ජනපද සමාගමක් වන New Fortress Energy වෙත පැවරීමේ කැබිනට් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ ආරම්භ විය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලේ.

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, ඇල්ලේ ගුණවංශ හිමි සහ සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම්  රංජිත් මද්දුම බණ්ඩාර, වසන්ත සමරසිංහ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ලේකම් රංජන් ජයලාල් විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.

අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම්, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, එහි සභාපති, ලංකා විදුලිබල මණ්ඩලය, එහි සභාපති, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, එහි කළමනාකාර අධ්‍යක්ෂ, West Coast Power ඇතුළු වගඋත්තරකරුවන් 54 දෙනෙකු මෙම පෙත්සම්වල නම් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම පෙත්සම්වල වගඋත්තරකරුවන් වන අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද, කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල වෙනුවෙන් ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා පෞද්ගලිකව පෙනී සිටියේය.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙන් 40%ක් ඇමරිකානු සමාගමකට පැවරීමට රජය ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වෙනම නීතීඥ මඩුල්ලක් හරහා කරුණු දැක්වීමට ගිවිසුමට විරුද්ධ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනා තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *