ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් හයදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලංකාවේ උපන් බෞද්ධ භික්ෂුවකට වසර 13යි මාස 2ක සිර දඬුවමක් නියම කර තිබේ.
71 හැවිරිදි නාඋටුන්නේ විජිත හිමියන්ට මෙම දඬුවම නියම කර ඇත්තේ බ්‍රහස්පතින්දා (08) වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාන්ත අධිකරණය විසිනි. ඒ බව ABC News Australia වාර්තා කර ඇත.
මෙල්බර්න් නුවර ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි ධම්ම සරණ විහාරස්ථානයේ ප්‍රධාන හිමියන් ලෙස කටයුතු කළ උන්වහන්සේගේ ක්‍රියා විශ්වාසය බරපතළ ලෙස කඩ කිරීමක් බව විනිසුරු පර්දීප් තිවානා සඳහන් කළේය. ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව තුළ උන්වහන්සේට හිමිව තිබූ ගෞරවනීය තත්ත්වය අයුතු ලෙස භාවිත කර ඇති බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
2025 වසරේදී විජිත හිමියන්ට එරෙහිව චෝදනා 17කට වරදකරු බවට තීන්දුව ලබාදී තිබිණි. ඒ අතරට බාලවයස්කාර දරුවෙකු සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම සම්බන්ධ චෝදනා නවයක් සහ දරුවෙකුට අශෝභන ක්‍රියාවක් කිරීම සම්බන්ධ චෝදනා අටක් ඇතුළත් විය.
1994 සිට 2002 දක්වා කාලය තුළ මෙල්බර්න්හි ස්ප්‍රිංවේල් සහ කීස්බරෝ ප්‍රදේශවල පිහිටි විහාරස්ථානයේදී මෙම අපරාධ සිදුව ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
විජිත හිමියන් දැරියන් සිය නේවාසික කාමරයට නැවත නැවතත් කැඳවාගෙන ගොස් ලිංගික අතවර සිදු කළ බවත්, ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ මවුපියන් ඒ ආසන්න කාමරවල සිටියදී පවා එම ක්‍රියා සිදු කළ බවත් අධිකරණයට දැනුම් දී තිබේ.
එම දැරියන් සිය පවුල් සමඟ ආගමික කටයුතුවලට සහභාගී වීම සඳහා විහාරස්ථානයට පැමිණි අය වූහ. මවුපියන් තම දරුවන් විහාරස්ථානය තුළ ආරක්ෂිතව සිටින බවට විශ්වාසය තබා තිබියදී, එම විශ්වාසය අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන ඇති බව විනිසුරුවරයා සඳහන් කළේය.
මෙම අපරාධ හේතුවෙන් වින්දිතයන්ට දිගුකාලීන මානසික පීඩාවන්ට මුහුණදීමට සිදුව ඇති බවද අධිකරණයේදී ප්‍රකාශ විය. ඔවුන්ගෙන් ඇතැම් අය තවමත් බෞද්ධ ආගමික වතාවත් හා සම්බන්ධ අවස්ථාවලදී මානසික පීඩාවට පත්වන බව අධිකරණයට දැනුම් දී තිබේ.
අතවරවලට ලක් වූ කාන්තාවන් වසර ගණනාවකට පසුව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව, 2023 වසරේදී විජිත හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
නඩු විභාගයේදී උන්වහන්සේ තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර තිබූ අතර, විත්තියේ නීතිඥවරුන් තර්ක කර තිබුණේ චෝදනා කළ සිදුවීම් සිදුව නොමැති බවයි. පැමිණිලිකාරියන්ගෙන් ඇතැම් අය පිළිබඳව තම සේවාදායකයාට මතකයක් නොමැති බවද ඔවුහු සඳහන් කර තිබිණි.
නියම කළ සිර දඬුවමෙන් අවම වශයෙන් වසර 9යි මාස 4ක් ගත කරන තෙක් විජිත හිමියන්ට නිදහස් වීම සඳහා පේරෝල් අයදුම් කිරීමට සුදුසුකම් නොලැබේ.
දඬුවම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු විජිත හිමියන් අධිකරණයේ සිටි සිය ආධාරකරුවන්ට සිනාසෙමින් අත වැනීම සම්බන්ධයෙන් වින්දිතයන්ගෙන් කිහිපදෙනෙකු කෝපය පළ කළ බවද ABC News වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ උපත ලැබූ විජිත හිමියන් වයස අවුරුදු 15දී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ. පසුව ස්වීඩනයට සංක්‍රමණය වී එරට පුරවැසිභාවය ලබාගෙන ඇති උන්වහන්සේ, 1994 වසරේදී ධම්ම සරණ විහාරස්ථානයේ ප්‍රධාන හිමියන් ලෙස කටයුතු කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත.
සිර දඬුවම අවසන් කිරීමෙන් පසු උන්වහන්සේ පිටුවහල් කිරීමේ හැකියාවක්ද පවතින බව අධිකරණයේදී සඳහන් විය. තමන් ස්වීඩනයට ආපසු යාමට කැමැත්තෙන් සිටින බව විජිත හිමියන් ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.
විජිත හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද විත්තියේ නීතිඥවරුන් මීට පෙර කරුණු ඉදිරිපත් කර තිබිණි. උන්වහන්සේ ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන බවටද ඔවුන් කරුණු දක්වා තිබූ බව සඳහන් වේ.
දශක දෙකකට වැඩි කාලයකට පෙර සිදුවූ අපරාධ සම්බන්ධ නඩු විභාගය මෙලෙස අවසන් වී ඇතත්, විජිත හිමියන්ට තවත් සැලකිය යුතු කාලයක් සිරගතව සිටීමට සිදුවනු ඇත.


