මෙරට තරුණ ප්‍රජාව විදේශ ගතවීම සීග්‍රයෙන් ඉහළට….

43 සේනාංක තරුණ අංශය මගින් ‘අර්බුදය තුළ තාරුණ්‍යයේ අනාගතය කොයිබටද?’ යන්න පිළිබඳව සාකච්ජා කිරීම සඳහා මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබිණ.

ඒ සඳහා කුරුණෑගල, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක නියෝජනය කරන තරුණ සම්බන්ධීකාරකවරුන් සම්බන්ධ වූ අතර එහිදී කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක තුෂාර වීරරත්න මහතා අදහස් දක්වමින් මේ වනවිට රට තුල ඇතිවී තිබෙන ආරථික, දේශපාලනික අර්බුද හමුවේ අරගලයේ නියැලී සිටින තරුණ තරුණියන් එම අර්බුද විසඳා ගැනීමට මැදිහත්වී සිටින ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.

එමෙන්ම අනුරුද්ධ බණ්ඩාර කියන තරුණ සමාජ ක්‍රියාකාරිකයා විසින් ‘ගෝඨාගෝහෝම්’ යනුවෙන් තබන ලද ෆේස්බුක් පොස්ට්ටුව නිසා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමත් සමඟ රට පුරා තරුණ තරුණියන් ආයතන මට්ටමින්,විශ්වවිද්‍යාල මට්ටමින් මෙම අරගලය හා සම්බන්ධ වූ ආකාරය තුෂාර වීරරත්න මහතා පෙන්වාදෙනු ලැබිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක තුෂාර වීරරත්න මහතා…

“අද අවාසනාවන්ත තත්වයක් අපි දකිනවා. ස්වාමීන් වහන්සේ නමක්, බෞද්ධ දර්ශනය තුළ තියෙන යම් කාරණයක් උපුටා දක්වමින්, ධර්ම දේශනයක් කරහම ඒක ප්‍රශ්න කරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා, තමන්ට හිතට දැනෙන පීඩනය මුහුණු පොතේ සටහනක් තැබුවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ තරුණයෙක්, තරුණියක් පසුපස හඹා යාමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මේ ප්‍රශ්නය විසඳන්න නම් ස්ථිරසාර විසඳුම් ඕන.ඇත්ත ආර්ථික හා දේශපාලන අර්බුදයක් තියෙනවා. අර්බුදය සඳහා කඩිනම් විසඳුම් සෙවීම බලධාරීන්ගේ යුතුකමක්, වගකීමක් වෙනවා. විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මධ්‍යයේ අපි දකිනවා, යම් කණ්ඩායමක් ඒකට බාධා කරනවා. එතකොට, තරුණ තරුණියන් උත්සාහ කරනවා, විසිඑක්වෙනි සංශෝධනයෙන් මේ රටේ සියලු ප්‍රශ්න විසදෙන්නේ නෑ. හැබැයි මේ පවතින තත්වය ඇතුලේ යම් විසඳුමක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාරණයේදී යම් පිරිසක් උත්සහ කරනවා නම් ඒකට බාධා කරන්න, කඩාකප්පල් කරන්න. එතකොට තරුණ තරුණියන් මැදිහත් වෙලා ඒ වෙනුවෙන් අරගල කරනවා.

ඒ නිසා අපි  තරුණයින් විදිහට ඉල්ලන්නේ හැමදාම අරගල කරන්න බෑ. අර්බුධයට විසඳුමක් අවශ්‍යයි. ඒ විසඳුම වෙනුවෙන් අපි අපේ දායකත්වය ලබා දෙනවා විවිධ මට්ටමින්. මේ පවතින ආර්ථික අර්බුදය කඩිනමින් විසඳාගෙන දේශපාලන අර්බුදය ජයග්‍රහණය කරගෙන, රටක් විදිහට අපිට ඉස්සරහට යන්න අවශ්‍ය වාතාවරණය ඇති කරලා දෙන්න කියලා අපි ඉල්ලන්නේ. ඒ නිසා අපි නැවත නැවත කියනවා තරුණ තරුණියන් ප්‍රජාතන්ත්‍රවාදිව කරන මේ අරගලයට බාධා පමුණුවන්න එපා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ කරන යම් යම් බාධා කිරීම් නතර කරලා ඔවුන්ගේ හඬට සවන් දීලා සාමූහිකව පොදු තීන්දු තීරණවලට ඇවිල්ලා මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න විසඳුමකට ප්‍රවේශයක් ලබා ගන්න කියන එක තමයි බලධාරීන්ගෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ.”

ඉන් අනතුරුව මෙම අර්බුදය තුළ තාරුණ්‍යයේ අනාගතය කොයිබටද? යන්න පිළිබඳව අදහස් දක්වමින් හතළිස් තුන සේනාංකයේ ගම්පහ දිස්ත්‍රික් තරුණ අංශයේ සංවිධායක ඉසුරු උද්දීප මහතා පවසා සිටියේ රටක ජීවත්වන තරුණ ප්‍රජාව තුළ මූලික අවශ්‍යතා පවතින බවත් එවැනි අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි රටක තරුණයන් ලෙස ජීවත්වීම පිළබඳව ඔවුන්  දැඩිලෙස සිතාබලන බවයි.

මේ හේතුව නිසාවෙන් මේ වනවිට මෙරට තරුණ ප්‍රජාව විදේශ ගතවීමේ සම්භාවිතාවය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ඒ වගේ දේවල් හොඳටම ලොකු ඉහළම මට්ටමක තිබ්බ රටක් විදිහට දැන් අපි පත්වෙලා තියෙන තත්වෙත් එක්ක ගත්තොත් ඒ තරුණයන්ට බලාපොරොත්තුවක් කියන එක ඉතිරිවෙලා නෑ. මේ අර්බුදය කෙටි කාලීන ව නිර්මාණය වෙච්ච අර්බුදයක්. ඉතින් ඒක අවුරුදු හැත්තෑ හතරක සාපයක්, දෙසිය විසිපහම එපා වගේ වචන පාවිච්චි කරලා ආණ්ඩුව ලිස්සලා යන්න හදනවා නම්, ඒකට අහුවෙන්න එපා කියලා මේ රටේ හැම කෙනෙක්ගෙන්ම අපි ඉල්ලන්න කැමතියි.

ඊට අමතරව තරුණයාටත් මේ අර්බුදය ඇතුළත කාර්යභාරයක් තියෙනවා. අරගල කරා හැම කෙනෙක්ම ඒ වගේම තමයි අරගලයෙන් පස්සේ ඉතුරු කෑල්ල කවුරුත් කතා කරන්නේ නැහැ තාම හරියට. ඉතින් ඒකට විසඳුම් සොයන්න තිරසාර වැඩපිළිවෙලක් හතළිස් තුන්වෙනි සේනාංකය විදිහට අපි ප්‍රකාශයට පත් කරලා ගොඩ එමු, ගොඩනගමු කියන ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ එළිදක්වලා තියෙනවා. ඉතින් අපි ඉල්ලන්නේ හැම කෙනෙක්ගෙන්ම මේ වෙලාවේ අපි ඒ වගේ තිරසාර වැඩපිළිවෙලක් යටතේ මේ අර්බුදයෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයන්න ඕනේ.

ඒක හින්දා මේ පැලැස්තර විසඳුම් වෙනුවට අලුත් ව්‍යාපෘති රටට අලුතෙන්, ඩොලර් ගේන්න පුළුවන් ව්‍යාපෘති. ඒ දේවල් හොයලා බලලා, වැඩක් කරන්න පුළුවන් කට්ටියකට. ඒ කියන්නේ තමුන්ට වැඩක් බැරි නම් කරන්න පුළුවන් කට්ටියකට මේක ඉඩදීලා පැත්තකට වෙනවා නම් ලොකු දෙයක්.”

ඉන් අනතුරුව මහනුවර හතළිස් තුන්  සේනාංකයේ තරුණ අංශයේ සම්බන්ධීකාරක මාධව පල්ලෙවත්ත මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ මෙම තරුණ අරගලයේ දින 54ක් ගෙවී යන විට යම් යම් සාධනීය අංග මේ වෙනවිට රටට අත් කර දී ඇති බවයි.

නමුදු එය පමණක් ප්‍රමාණවත් නොවන බවත් මේ අර්බුදයෙන් ගොඩ ඒමට තරුණයන් වශයෙන් විසඳුම් සෙවිය යුතු බවත් ඒ මහතා පවසයි.

“ඊළඟට අපේ වැඩපිළිවෙල තියෙන්නේ ඒ වෙනුවෙන්. ඒ වෙනුවෙන් රටේ සියලුම දෙනාට වගකීමක් තියෙනවා. මොකද මේ මෝඩ පාලකයෝ ටිකක් විනාශ කරපු රට ගොඩනැගීමේ වැඩපිළිවෙල තියෙන්නේ බුද්ධිමත් ප්‍රවේශයක් සහ ප්‍රයෝගික ප්‍රවේශයක්. ඇත්තටම හතලිස් තුන  සේනාංකය විදිහට ඒ වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලක් තියෙනවා.

තරුණයන්ගෙන් මං විශේෂයෙන්ම ඉල්ලනවා අපි මේ අර්බුදය තුළ බොහොම පසුගාමී සිතුවිල්ලකින්  මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නොත් හෙට මේ අර්බුධයෙන් ගොඩ එන්න බැරි වෙයි. නමුත් යම් කාලයක් තුළ අපිට ගොඩ එන්න පුළුවන් වෙයි. අපි ඒක නිවැරදි විදිහට නිසි කළමනාකරණකාරීත්වයකින් යුතුව මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නොත්. ඉතින් ඒ දේ අපිට කරන්න විශේෂයෙන්ම උගත්, බුද්ධිමත් තරුණ පරපුර මේ වෙලාවේ තමන්ගේ දායකත්වය හරි විදිහට දක්වන්න මේ රට ගොඩ නැගීම වෙනුවෙන්.

ඇත්තටම අපි හිතනවා මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න අපිට විදේශගත වීම විතරක් තියෙන්නේ කියලා. ඇත්තටම මං කියන්නේ ඒ තැනට වැටෙන්න අවශ්‍ය නැහැ. මොකද විදේශගත වෙන්නේ මේ රටේ තියෙන වටිනාම ශ්‍රම බලකාය. ඉතින් ඒකත් මේ අර්බුධයෙන් ගොඩ එන්න නැති වුණොත් එහෙම මේ රට මීටත් වඩා විනාශයකට යයි. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් මේ අර්බුදයත් එක්ක ඉඳලා කෙටිකාලීනව, දීර්ඝකාලීන විසඳුම් වලට අපි බලාපොරොත්තු ඇතිව බොහොම අවබෝධයෙන් ඉදිරියට යමු කියන ඉල්ලීම මම මේ රටේ තරුණයන්ගෙන් ඉල්ලනවා.

අපි හතළිස් තුන්වන සේනාංකය විදිහට අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒකේ තරුණ අංශය විදිහට අපි ලෑස්තියි මේ රටේ තරුණයන්ට බලාපොරොත්තු සහිත, අනාගතයක් උදාකරන්නට, නායකත්වය දෙන්න. ඒ සඳහා වග වෙන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *