ශ්‍රී ලංකාව ඉදිරි දින කිහිපය තුළ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිය ඉදිරි ණය වාරික සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට අවස්ථාව ඇති බව බ්ලුම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ණයහිමියන් සමඟ සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක් තුළ දී පවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙලෙස සාධනීය ප්‍රතිචාරයක් දක්වනු ඇති බව එම වාර්තාව පවසා ඇත.
මොරාක්කෝවේ පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුවෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ශ්‍රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට ආසන්න බව එහි සඳහන්ය.
එමෙන්ම පැරිස් සමාජයේ සහ අනෙකුත් ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත් නිල ණය හිමියන් ගේ කමිටුව මේ සතියේ ශ්‍රී ලංකාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ඉලක්ක කර ඇති නමුත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.
මේ අතර, අමෙරිකානු ඩොලර් බිලිියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදෙස් ණයහිමියන් පිරිසක් ශ්‍රී ලංකා රජයට යෝජනා කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පසුගිය 02 වැනි දින යොමු කර ඇති මෙම යෝජනාවට ශ්‍රී ලංකා රජය කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා සිදු කර නැති බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
මේ අතර, ආසියානු – පැසිෆික් කලාපයේ නව ආර්ථික දැක්ම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද පස්වරුවේ මොරොක්කෝවේ දී මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.
මේ අතර, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා අතර හමුවක් මොරොක්කෝවේ දී සිදු විය.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහ ආර්ථික ස්ථායීකරණ වැඩසටහනට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට ඔහු සහතික වී ඇති බව වාර්තා වේ.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ තකාෆුමි කදානෝ සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර හමුවක් ඊයේ(13) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.
එහි දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් ගේ ගැටලු විසඳීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ මුදලක් මෙරටට ලබාදීමට එකඟ වී ඇත.