රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාලත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා නියෝග කළේය.
දේශීය ආදායම් කොමසාරිස්ජෙනරාල්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අර්ජුන් ජෝසප් ඇලෝසියස් , ඇන්තනී රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් හා කුමාරසිරිද සිල්වා යන අධ්‍යක්ෂකවරුන් තිදෙනාටය.
2016 සහ 2019 අතර කාලය සඳහා රජයට අය විය යුතු රුපියල් 3555488597.00ක වැට් බදු මුදල් ගෙවන ලෙසට විත්තිකාර අධ්‍යක්ෂකවරුන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 වර්ෂයේ මහේස්ත්‍රාත් අධිකරයේ නඩු පවරා ඇත.අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව පසුගිය(2023) වසරේදී තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති මහේස්ත්‍රාත්වරයා අදාළ බදු මුදල් ගෙවන ලෙසට නියෝගයක් නිකුත් කර ඇත.
එම නියෝගය ප්‍රකාරව කටයුතු නොකිරීම සහ අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.
මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට එරෙහිව විත්තිකරුවන් විසින් මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට ඊයේ අධිකරණයේදී කරුණු ඉදිරිපත් කෙරිණි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ චානක්ඛයා ලියනගේ මහත්මිය පෙනී සිටියාය.
නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 06 වැනි දිනට කල් තිබිණි.