“මුදල් විශුද්ධිකරණය වලක්වන්න ශක්තිමත් රාමුවක් ඕනෑ” – ජනාධිපති

මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ශක්තිමත් සහ සඵලදායී රාමුවක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත  ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24)පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු සහ මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීහු සහභාගී වූහ.

අමාත්‍යාංශ, නියාමන ආයතන, නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතන ඇතුළුව, පාර්ශ්වකාර ආයතන 24ක් සඳහා සම්පාදනය කර ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කඩිනම් අවශ්‍යතාව මෙහිදී මූල්‍ය බුද්ධි ඒකකය විසින් අවධාරණය කර ඇත.

මෙම සැලසුම් සමඟ පූර්ණ අනුකූලතාව සහතික කිරීම සඳහා කැපවූ කණ්ඩායම් පත් කරන ලෙසත් එහි ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මූල්‍ය බුද්ධි ඒකකය, අමාත්‍යවරුන්, ලේකම්වරුන් හා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *