මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා විද්‍යුත් මාධ්‍ය අසාධාරණ ලෙස මුදල් අය කිරීම ගැටලුව – ඇමැති දිනේෂ් ගුණවර්ධන

විද්‍යුත් මාධ්‍ය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී සාධාරණ මුදලක් අය නොකිරීම ගැටලුවක් බවට පත්ව ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මැතිවරණ කාලසීමාව තුළ අපේක්ෂකයින්ගේ දැන්වීම් සඳහා ඉතා ඉහළ ගාස්තුවක් අය කරන බව නිරීක්ෂණය වී ඇති බව පැවසූ අමාත්‍යවරයා එය බරපතළ අසාධාරණයක් බවද පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සිකුරාදා මැතිවරණ නීති සහ මැතිවරණ ක්‍රමයේ යෝග්‍ය ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීම සහ අවශ්‍ය සංශෝධන නිර්දේශ කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදීය.

පසුගිය (26) දින විද්‍යුත් මාධ්‍ය ආයතන තුනක් මෙම කමිටුව හමුවේ සාක්ෂි දුන් අතර MTV Channel (Pvt) Limited සහ MBC Networks (Pvt) නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ අශෝක ඩයස් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ මාධ්‍යයට බලපාන මැතිවරණ නීති සම්බන්ධයෙන් එකඟතාවක් නොමැති බවයි. .

එවැනි සංශෝධන සිදු කිරීමේදී මාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගත යුතු බවද ඔහු කියා සිටියේය.

මැතිවරණ දිනයට පෙර පැය 48ක නිහැඬියාව තුළ පවා කේබල් සහ චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා බරපතළ ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිටින බවද ඩයස් මහතා පෙන්වා දුන්නේය. තම මාධ්‍ය ජාලය හරහා සියලු දේශපාලන පක්‍ෂවලට සමාන අවස්ථා ලැබෙන පරිදි මාධ්‍ය වාර්තාකරණයට පහසුකම් සලසන බවද ඔහු පැවසීය.

ටෙල්ෂාන් මාධ්‍ය ජාලය වෙනුවෙන් සාක්ෂි දුන් TNL ප්‍රවෘත්ති කළමනාකරු ටිරාන් කරන්නාගොඩ කියා සිටියේ මැතිවරණ දැන්වීම් සඳහා මාධ්‍ය ආයතන අය කරන මිල ගණන් අතර සමානකමක් තිබිය යුතු බවයි. සම්මුතියක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීම අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය.

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වෙනුවෙන් කමිටුවට අදහස් දැක්වූ ප්‍රසන්න ජයනෙත්ති මහතා කියා සිටියේ තම මාධ්‍ය ජාලය මැතිවරණ සමයේදී දේශපාලන සාකච්ඡා සඳහා නොමිලේ ගුවන් කාලයක් ලබාදෙන බවයි.

මැතිවරණ වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සඳහා අවම වශයෙන් ආචාර ධර්ම පද්ධතියක් හෝ තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරු ද කමිටු රැස්වීමට එක්ව සිටියහ.

ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිසම සහ සීමා නිර්ණය කොමිෂන් සභාවේ නිලධාරීන් ද කමිටු රැස්වීමට එක්ව සිටියහ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මීළඟ රැස්වීම ලබන 02 වැනිදා පැවැත්වෙන බව තේරීම් කාරක සභාවේ ලේකම්, නියෝජ්‍ය මහලේකම් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *