මහින්ද රාජපක්ෂ ඉතිහාසයේ පළමු වතාවට විදුලි බිල අඩු කළා: සාගර කාරියවසම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනන සැලැස්මක් ඇතිව වැඩ කර ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ, උමා ඔය වැනි දැවැන්ත ව්‍යාපෘති ඇති කර අඩු මුදලට රටට විදුලිය ලබාදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලි බිල අඩු කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ බවයි.

“මේ රටේ ජනතාවට විදුලිය ලබා දුන්නා පමණක් නොව විදුලි බිල අඩු කළ පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතායි. එතුමාගේ මේ රටේ විදුලිය නිෂ්පාදනයට සැලසුම් කළ නිසා තමයි එතුමාට එහෙම කරන්න පුළුවන් වුණේ,” කාරියවසම් මහතා පැවසීය.

“රටේ විදුලි බිල වැඩි වීම ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.මේකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ටම බනිනවා.රාජපක්‍ෂලාටත් බනිනවා.මොකක්වත් නොදන්න මිනිස්සු හිතන්න පුරුදු වෙලා ඉන්නේ.

“හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ කාලේ දවසකට පැය ගණන් රටට විදුලිය නැතිව ඉන්න සිද්ධ වුණා.මේ රටේ හිටපු නායකයන් විදුලිය නිෂ්පාදනයට කිසිම සැලසුමක් නැතිව වැඩ කළ නිසයි මෙහෙම වුණේ.නමුත් මහින්ද රාජපක්ෂ මහතා පළමු වතාවට වැඩ කළේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු ලෙස සැලසුම් කරන්න” මහලේකම්වරයා පැවසීය.

“දූරදර්ශී නායකයෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජය අනාගත අවශ්‍යතා අනුව මේ රටේ විදුලිය නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් කළා.ඒ අනුව මෙගාවොට් 900කින් යුත් සාම්පූර් බලාගාරය සැලසුම් කළා.ඒ සඳහා අවශ්‍ය සියලු වාර්තා සකස් කර ගිවිසුම් අත්සන් කර සාම්පූර් බලාගාරයට අවශ්‍ය පරිසර වාර්තා සියල්ල අවසන් කර තිබුණි.

“මෙගාවොට් 900 ක සාම්පූර් බලාගාරය සහ හතරවැනි අදියරේ සිට මෙගාවොට් 100 ක නොරොච්චෝලේ බලාගාරය රටේ විදුලිබල පද්ධතියට මෙගාවොට් 1,000 ක් එකතු කිරීමට සූදානම් කර තිබුණා.

“නමුත් 2015 බලයට පත් වූ රජය ජනතා විමුක්ති පෙරමුණ හරහා උසාවි නඩුවක් ගොනු කළ අතර, එම නඩුව පදනම් කරගෙන හිටපු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාම්පූර් බලාගාරය සහ නොරොච්චෝලේ සිව්වැනි අදියර සම්පූර්ණයෙන්ම නතර කළා. රටේ ජනන සැලැස්මට අනුව ක්‍රියාත්මක විය යුතුය.

“ඒ පාඩු මත අද අපි ඩීසල් බලාගාර හරහා මෙගාවොට් දහස් ගණනක් නිෂ්පාදනය කරනවා. අද මේ රටේ විදුලි බිල වැඩි කරන්න කටයුතු කළ කණ්ඩායම් නිහඬයි” කාරියවසම් චෝදනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *