මහකොමසාරිස්ගේ වාර්තාව ගැන කනස්සල්ල

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර ආරක්ෂක සංවිධානවල සහාය ඇති ව ශ්‍රී ලංකාව පූර්ණ පරීක්ෂණයක් පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබියදීත් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව තුළ ප්‍රහාරය පිළිබඳ වැරදි සහගත ලෙස කරුණු ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකාවේ ජීනිවා නිත්‍ය නියෝජිතවරිය ඊයේ(13) මානව හිමිකම් කොමිසමේ 54 වන සැසිවාරයේ දී  ප්‍රකාශ කළාය.

එහිදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය කියා සිටියේ, අදාළ වාර්තාව සඳහා වැරදි සහගත, තහවුරු නොකළ, පක්ෂග්‍රාහී මුලාශ්‍රවලින් තොරතුරු ලබාගෙන ඇති බවය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයේ තෙවැනි දිනය අමතමින් ඇය මේ බව කියා සිටියාය.

එහි දී විවාදයට එක්වෙමින් ජිනීවා නුවර එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය, මානව හිමිකම් මහකොමසාරිස්වරයා පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යාවත්කාලීන වාර්තාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ කරුණුවලට ප්‍රතිචාර දැක්වීය.

එහි දී අදහස් දැක්වූ හිමාලි අරුණතිලක මහත්මිය,

මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ලිඛිත යාවත්කාලීන වාර්තාව මගින් 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සහගත සහ තහවුරු නොකළ, පක්ෂග්‍රාහී මුලාශ්‍ර යොදා ගනිමින් විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබෙනවා. ලක් රජය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරිපූර්ණ පරීක්ෂණයක් පවත්වා ඇති අතර, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් මගින් ඒ පිළිබඳ විමර්ශනය කොට එහි වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිය දී මානව හිමිකම් මහකොමසාරිස්වරයා එවැනි සටහනක් තැබීම කනගාටුදායකයි. ශ්‍රී ලංකාව සිදු කළ විමර්ශනයට ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය, එෆ්.බී.අයි. සහ ඉන්ටපෝල් යන ආයතනවල ද සහාය ලබා ගැනුණා. 2022 අප්‍රේල් මාසයේ ඒ සම්බන්ධයෙන් 79 දෙනෙකුට අධිචෝදනා ගොනු කෙරුණු අතර, 2022 ජනවාරි 12 වෙනිදා ප්‍රහාරයට වගකිවයුතු හිටපු ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරින්ට එරෙහිව ඉදිරිපත් කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. එමෙන්ම මෑතක දී ප්‍රහාරය සම්බන්ධයෙන් පළවූ වාර්තා පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මෙන්ම ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *