මනෝ චිකිත්සකවරියගේ අභිරහස් මරණය ගැන තවත් තොරතුරු

බත්තරමුල්ලේ ලැගුම්හලක කාමරයක තිබී ගෙල කපා ඝාතනය කළ බවට සැකකෙරෙන කාන්තා මළ සිරුරක් සොයාගැණුනි.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක මනෝ චිකිත්සකවරියක් වන අතර ඝාතකයා විසින් ලියන ලද බවට සැකකෙරෙන ලිපියක්ද කාමරය තුළ තිබී හමුවුණි.

මෙම මළ සිරුර හමුව ඇත්තේ බත්තරමුල්ල නෙරලුඋයන ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක කාමරයක් තුළ තිබියදීය.

එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ හපුතලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක සුජාතා මානාභරණ නම් මනෝ චිකිත්සකවරියක් ලෙසට හඳුනාගැනුණු  අතර, ඇය ත්‍රිවිධ හමුදාව සඳහා පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන් පැවැත්වූ කාන්තාවකි.

අදාළ කාන්තාව ඉකුත් මස 26වනදා තවත් පුද්ගලයෙකු සමඟ එම ලැගුම්හල වෙත පැමිණ තිබූ අතර එම පුද්ගලයා වරින් වර පැමිණ කාන්තාවට ආහාර පාන ලබා දී වැඩි වේලා නොසිට පිටව යන බව ලැගුම්හලේ සේවකයන්ට නිරීක්ෂණය වී ඇති අතර, ඉකුත් දෙවනදායින් පසු එම යුවළ ලැගුම්හලේ කිසිදු අයෙකුට මුණගැසී  නොමැත.

ඒ අනුව ඇති වූ සැකය මත ලැගුම්හල් සේවකයින් විසින් කාමරය පරීක්ෂා කිරීමේදී ඇගේ මළ සිරුර හමුවී තිබේ.

සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් පරික්ෂණයේදී, ඝාතකයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් කාමරයේ තිබී හමුවී තිබුණි.

එම ලිපියෙහි සඳහන්ව ඇත්තේ, අදාළ කාන්තාව තමාගේ බිරිඳ බවත් ඇගේ මරණය තමා විසින් සිදුකළ බවට පිළිගන්නා බවත්, ඒ සඳහා ඔහුට සාධාරණ හේතු තිබූ බවය.

කෙසේවෙතත් කාන්තාව සමඟ ලැගුම්හලට පැමිණි පුද්ගලයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර මරණය සිදුකළේ ඔහු විසින්ද නැතිනම් වෙනත් අයෙකු විසින් ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා තලංගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *