මංතීරු නීතිය හෙට සිට යළි ක්‍රියාත්මක කෙරේ

බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය හා රථවාහන මංතීරු නීතිය හෙට (08) සිට ක්‍රියාත්මක කරන බව කොළඹ නාගරික රථවාහන කොට්ඨාශය සඳහන් කරයි. ඒ අනුව සඳුදා සිට ලබන 22 වැනිදා දක්වා මාර්ගයේදී පොලිස් නිලධාරීන් විසින් මේ සම්බන්ධව රියැදුරන් දැනුවත් කිරීමට නියමිතව ඇති අතර, 22 වැනිදා සිට කොළඹ නගරය තුළ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

උදය කාලයේ පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා කොළඹට ඇතුල්වීමේදී සහ සවස් කාලයේ පස්වරු 4.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹින් පිටවීමේදී මංතීරු නීතිය අදාළ වන්නේ, කොළඹ ඕල්කට් මාවත, රීගල්, කුමාරණ් රත්නම් පාර, පිත්තල හන්දිය, පුස්තකාල වට රවුම සිට කොල්ලූපිටිය හන්දිය දක්වා මාර්ගයයි.

ගල්කිස්ස මැලිබන් හන්දියේ සිට මොරටුව කුරුස හන්දිය දක්වා මාර්ගයේ පස්වරු 5.00 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹින් පිටවීමේදී මංතීරු නීතිය අදාළවනු ඇත.

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මකවන අවස්ථාවේදී එම මංතීරුව භාවිතා කළ හැක්කේ පුද්ගලික බස් රථ , ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ , ආසන 20ට වැඩි (කාර්යාල ප්‍රවාහන සේවා) බස් රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ වලට පමණක් බවයි පොලීසිය වැඩි දුරටත් දන්වා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *