බෝ නොවන රෝග සදහා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඖෂධ අඛණ්ඩව සැපයීමේ වැඩ පිළිවෙළක්

කෝවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය යොදා ඇති කාල සීමාවේ ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ අපහසු තාවයකින් තොරව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමට රජයේ අවධානය යොමුකර ඇත.

අත්‍යවශ්‍ය මහජන සේවා අඛණ්ඩව සැපයීම, මෙහෙය වීම, සම්බන්ධීකරණය හා පසුවිපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති, හිටපු අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මහතාගේ සහ ඖෂධ ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (25) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළැඹ තිබේ.

දියවැඩියාව රුධිර පීඩනය ඇතුළු අනෙකුත් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ට ඇඳිරි නීතිය හේතුවෙන් ඖෂධ මිලදී ගැනීමේ අපහසුතාවයක් මේ වන විට උද්ගතව ඇත. එම ගැටලුව සඳහා කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පැවති මෙම සාකච්ඡාවේදී ඉදිරි මාස කිහිපයකට ප්‍රමාණවත් පරිදි , දේශීය වශයෙන් මෙරට නිපදවන ඖෂධ තොග ඖෂධ ගබඩා වල පවතින බව අනාවරණය විය. එමෙන්ම දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ අඛණ්ඩව නිෂ්පාදනය කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය. දේශිය ඖෂධ නිෂ්පාදනයේ ගැටලු නිරාකරණය කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

දැනට මෙරට පවතින ආනයනික ඖෂධ තොග සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව සැපයීමේ හැකියාව ඇති බව එහිදී හෙළි විය. ඉන්දියාවෙන් ඖෂධ ආනයනය කිරීමේ ගැටලු පවතින බව මෙහිදී ඖෂධ ආනයනකරුවන් පෙන්වා දුන් අතර ඒ සඳහා රජයේ මැදිහත් වීමක් අවශ්‍ය බව ඔවුන් සඳහන් කළේය. ඒ අවස්ථාවේ දී ම ඉන්දීය රජයේ සෞඛ්‍යය බලධාරීන් හා දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කල බැසිල් රාජපක්ෂ මහතා ඖෂධ ආනයනික ගැටළු විසඳා දීමට පියවර ගත්තේය.

රජයේ රෝහල් වල භාවිතයට ගැනෙන වෛද්‍ය උපකරණ වල ගැටලු ඇතිවන අවස්ථාවලදී නොමිලේ සහ හැකි ඉක්මනින් එම ගැටළු විසඳා වෛද්‍ය උපකරණ යථා තත්ත්වයට පත් කිරීමට වෛද්‍ය උපකරණ ඉංජිනේරු සංගමය සිය සහාය ලබා දීමට මෙහිදී එකඟ විය.

කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට ගෙනයන වැඩසටහන අතරේ අනිකුත් රෝග සඳහා ප්‍රතිකාර ලබන රෝගීන් ද රැකබලාගැනීම වගකිවයුතු රජයක වගකීමක් යැයි මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අතිරේක ලේකම් (වෛද්‍ය සැපයුම්) සුනිල් ද අල්විස් මහතා සහ ඖෂධ සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, ශ්‍රී ලංකා ඖෂධ වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලය, සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා ඖෂධ වෙළඳුන්ගේ සංගමය ඇතුළු ඖෂධ නිෂ්පාදන හා සැපයුම් ක්ශේත්‍රයේ නිලධාරීන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *