බෝලවත්තෙන් ඉපැරණි සොහොන් බිමක් හමුවෙයි

වෙන්නප්පුව – බෝලවත්ත පරලෝක රාජේවරියගේ දේවස්ථාන භූමියෙන් ඉපැරණි සොහොන් බිමක් හමුවී ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

යෝජිත ඉදිකිරීම් කටයුත්තක් සඳහා දේවස්ථාන භූමිය කැණීම් කරමින් සිටින විට එම සොහොන් බිම හමුවී ඇති බව වාර්තා වෙයි.

පිහිටි පොළවේ සිට අඩි 03ක් පමණ ගැඹූරින් කිසියම් අයෙකුගේ සිරුරක් මිහිදන් කර ඇති කොන්ක්‍රීට් වලින් සකස් කරන ලද පෙට්ටියක් කැණීම් කරමින් සිටි පිරිසට හමුවී ඇත.

පසුව ඔවුන් ඒ බව මීසම් පියතුමන්ට දැණූම් දීමට කටයුතු කර තිබේ.

දේවස්ථාන භූමිය තුළ මිය ගිය අයවළුන්ගේ සිරුර මිහිදන් කිරීම සාමාන්‍යයෙන් සිදුකරති.

ඒ සඳහා දේවස්ථාන භූමියේ වෙනමම කොටසක් වෙන් කර තබති.

නමුත් දේවස්ථානයේ සේවය කරමින් සිටි පූජකවරයෙකු ස්වර්ගස්ථ වූ විට එම සිරුර දේවස්ථානයට ආසන්නයේ මිහිදන් කිරීම කතෝලික ප්‍රජාව විසින් සිදු කරති.

නමුත් බෝලවත්ත දේවස්ථාන භූමිය තුළ එවැනි මිහිදන් කිරීමක් මෑත කාලයේදී සිදුකරන නොමැති බව ප්‍රදේශවාසීන් පවසති.

ඒ අනුව මෙම සොහොන් බිම ඉපැරණි එකක් වීමට ඉඩ ඇති බව ඔවුන්ගේ මතයයි.

එම සොහොන් බිම සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකරන ලෙස මීසම් පාලක පියතුමන් විසින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැණුම් දීමට කටයුතු කර ඇති බවද අප වාර්තාකරු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *