බියර් නිෂ්පාදනයට සහල් භාවිතය අත්හිටුවන්නැයි ඇමතිගෙන් නියෝග

සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනය සඳහා සහල් තොග භාවිතය වහාම අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට මුහුණදීමේ අරමුණින් අමාත්‍ය මහින්ද අමරවීර මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුවට ලිඛිතව දන්වන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

“උඩවලව ජලාශය යටතේ පවතින කුඹුරු අක්කර 50,000කට අධික ප්‍රමාණයක් ජලය නොමැතිව විනාශ වීමේ අවදානමකට ලක්ව තිබෙනවා. මෙම කුඹුරුවලට තවත් ජල මුර දෙකක්වත් ලබා දිය යුතුයි. කුඹුරුවලට උග්‍ර ජල හිඟයක් පවතිනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට ඉදිරි දින කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබුණහොත් යල කන්නයේ අපේක්ෂිත අස්වැන්න අසාර්ථක වීම හේතුවෙන් ඉදිරි කාලය තුළ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

පසුගිය මහ කන්නයේ වී අස්වැන්නෙන් සැකසූ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම සත්ව ආහාර සඳහා දේශීය බඩඉරිඟු නිෂ්පාදනය අඩුවීම සහ බඩඉරිඟු ආනයනය කිරීමට මුදල් නොමැතිකම හේතුවෙන් කිරි, බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය අඩුවීම වැළැක්වීම සඳහා සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් යොදා ගැනීමට තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *