LK reports news sinhala

පොදුජන පෙරමුණු රජයක් යටතේ බදු බර අඩුකරන බව ගෝඨා කියයි

පොදුජන පෙරමුණු රජයක් යටතේ ජනතාව මත ඇති බදු බර අඩු කරනවා පමණක් නොව පවතින බදු ක‍්‍රමය සරළ කිරීමට බලාපොරොත්තු වන බව පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ව්‍යාපාරික ජාතික සම්මේලනය කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

“ජාතික ආරක්ෂාව ඉතාම වැදගත්. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම අනාගතයේ අප පිහිටුවන රජයක මූලික වගකීමක් ලෙස මා දකිනවා. ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර නිදහසේ කරගෙන යාම සඳහා ත‍්‍රස්තවාදය නැති, හොරමැරකම්, කප්පම් ගැනීම් නැති, වංචා දුෂණ නැති පරිසරයක් , සමාජයක් අවශ්‍ය වෙනවා.ඔබට ඔබේ ව්‍යාපාර කරගෙන යාමට අවශ්‍ය කරන ඒ සුරක්ෂිත වටපිටාව සකස් කර දෙන බවට මම සහතික වෙනවා. අපි දන්නවා පසුගිය වසර කිහිපය තුල මේ රටේ බදු ප‍්‍රතිපත්තිවල විශාල වෙනසක් සිද්ධවුනා. වසර 100 කට වඩා පැරණි ක‍්‍රම ක‍්‍රමයෙන් දියුණු වෙමින් ආ බදු ක‍්‍රමවේදය වෙනුවට වෙනත් රටකට ගැලපෙන ලෙස සකස් කරනා ලද ආගන්තුක බදු පනතක් ජනතාව මත පටවා තිබෙනවා.මේ සංකීර්ණ බදු ක‍්‍රමවේදය නිසා අද ව්‍යාපාරිකයන් මෙන්ම බදු ගෙවන සියලූම පුරවැසියන් අසීරු තාවයට පත් වෙලා තිබෙනවා. අලුතින් පනවා ඇති සමහරක් බදු ඉතාමත්ම අසාධාරණ බව අපේ හැඟීමයි. ජනතාවගෙන් බදු අයකරලා සැලැස්මක් නැතිව වියදම් කරන එකයි මේ රජය කරන්නේ. අපේ රජයක් මඟින් ජනතාව මත බදු බර අඩු කරනවා පමණක් නොව පවතින බදු ක‍්‍රමය සරල කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරිකයින් ඇති කරන රැකියා අවස්ථා නිසයි ආර්ථිකය ඉදිරියට යන්නේ. තමන්ගේ ආදායම නැවත ආයෝජනය කරන්න අවස්ථාව නොදී බදු පිට බදු ගැසීම අනුමත කරන්න බැහැ” යනුවෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *