පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් ජාතික වෛද්‍ය නියාමන අධිකාරියට (NMRA) පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ කිසිදු මන්ත්‍රීවරයෙකුට පෙර දැනුම්දීමකින් තොරව කිසිදු රාජ්‍ය ආයතනයකට ඇතුළු විය නොහැකි බවයි.
“කිසිම මන්ත්‍රීවරයෙකුට පෙර දැනුම්දීමකින් තොරව කිසිම රාජ්‍ය ආයතනයකට ඇතුළු විය නොහැකි බව කථානායක මහින්ද යාපා මට දැනුම් දුන්නා. ජයවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ කාර්යාලයට ගිය පසු මම කථානායකවරයාට කතා කළා, එතුමා මට කිව්වා ක්‍රියා පටිපාටිය තමයි මන්ත්‍රීවරයකු ඕනෑම රාජ්‍ය ආයතනයකට පැමිණීමට පෙර පූර්ව දැනුම්දීමක් කළ යුතු බව,” අමාත්‍යවරයා පැවසීය.
වෛද්‍ය ජයවර්ධන මහතාට දුරකථනයෙන් කතා කළ ඇමැතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ඔවුන් සමඟ සංවාදයක් පැවැත්වීමට කැමැත්තෙන් සිටින බව පැවසීය.
“මන්ත්‍රීතුමා ඇතුළු පිරිස පැමිණෙන විට මම සිටියේ NMRA ප්‍රධාන විධායක නිලධාරියා සහ සභාපතිවරයා සමඟ රැස්වීමකයි. රැස්වීමෙන් පස්සේ හම්බවෙමු කියලා මම කිව්වා ඒත් ආවෙ නෑ” ඇමැතිවරයා කීවේය.
ඔහු සහ SJB සාමාජිකයින් කිහිප දෙනෙකු කොළඹ ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ (NMRA) නිලධාරීන් හමුවීමට ගිය අවස්ථාවේදී අමාත්‍යවරයාගෙන් තමාට දුරකථන ඇමතුමක් ලැබුණු බව වෛද්‍ය ජයවර්ධන පැවසීය.
“අපි NMRA ආයතනයේ නිලධාරීන් හමුවී බාල වර්ගයේ ඖෂධ අඛණ්ඩව භාවිත කිරීම පිළිබඳව ඔවුන්ගෙන් විමසීමට ගිය නමුත් ඒ මොහොතේ ආයතනයේ උසස් නිලධාරීන් පැමිණ සිටියේ නැත. කෙසේ වෙතත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා දුරකථනයෙන් අප අමතා සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවීමට තමන් සූදානම් බව සහතික කළා.” වෛද්‍ය ජයවර්ධන මහතා පැවසීය.
කෙසේ වෙතත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ කතා කිරීමට තම පක්ෂය උනන්දු නොවන බව මන්ත්‍රීවරයා පැවසීය. “අපි NMRA එකට යන්න කලින් ඇමතිතුමා සාකච්ඡාවක් දෙන්න තිබුනා. ඒත් එයා පරක්කු වැඩියි” මන්ත්‍රීවරයා පැවසීය.