පුද්ගලයෙකුගේ රෝහල් ඇඳ ඉහපත් වාර්තාව අතුරුදන්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නියෝගය

අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අවස්ථාවේ දී ඊට අදාළ “රෝහල් ඇඳ ඉහපත් වාර්තා” අතුරුදන් වී ඇතැයි කියන සිද්ධිය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසෙ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී ලිංගික හිරිහැරයන්ට භාජනය කළේ යැයි චෝදනා කරමින් ව්‍යපාරිකයකු වන මිශාර රණසිංහ නමැත්තකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළ බව  අධිකරණ වාර්තාකරු සඳහන් ක‍ළේය.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

පෙත්සම යළි සලකා බැලීම සඳහා මාර්තු මස 22 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.

2021 වසරේ ඔක්තෝබර් මස 30 වනදා තමා කිරිඇල්ල ප්‍රදේශයේ මෝටරථයකින් ගමන් කරමින් සිටියදී වග උත්තරකාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු කිරිඇල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් තමන්ව කිරිඇල්ල පොලිසියට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ලිංගික හිරිහැර සිදුකොට පසුව මුදාහල බව පෙත්සම්කරු පවසා තිබේ.

මෙමඟින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස සහ මෙම සිද්ධියට වගකිවයුතු නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතවකු ඇතුළු නිලධාරීන්ට නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පෙත්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *