පාස්කු බෝම්බකරුවෙකුගේ පියා සියලු චෝදනාවලින් නිදහස් කෙරේ

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බයක් පුපුරවාගෙන මියගිය අලඩීන් මොහොමඩ් මුවත් නැමති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා සියලු චෝදනාවලින් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් අදාළ නියෝගය ලබාදී ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

වසර එක හමාරක පමණ කාලයක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

එම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් නීතියෙන් කටයුතු නොකරන බැවින් ඔහු එම නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව මහෙස්ත්‍රාත්වරයා එම සැකකරු නිදහස් කිරීමට නියෝග කර තිබේ.

එම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීති පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *