පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙරටට බලපෑම් එල්ල කළේ තමන් ඒ පිළිබඳ කළ දැනුවත් කිරීම මත බව මෙරට කතෝලික සභාව පවසයි.
කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු සිරිල් ගාමිණි පියතුමා,
“අපි මානව හිමිකම් කවුන්සිලයට ගියේ රජයේ ක්‍රියා පිළිවෙත ගැන විශ්වාසයක් නැති නිසා. රට තුළ යුක්තිය ඉෂ්ඨ කරගන්න බැරිනම් එතනින් එහාට යන්න අයිතියක් තියෙනවා. වතිකානය සහ ශුද්ධෝත්තම පියතුමන් ලිඛිතව දැනුවත් කළා. මානව හිමිකම් කවුන්සිලයත් ලිඛිතව දැනුවත් කළා. යුක්තිය ඉටුවෙයි කියලා විශ්වාසයක් නැහැ කියලා. නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබුණා නම් අපිට මානව හිමිකම් කවුන්සලයට යන්න ඕනේ නැහැ. තාමත් එහෙම වෙලා නැහැ. “
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ කළ වාචික කරුණු දැක්වීමේදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳත් අදහස් දක්වා තිබුණි.
මේ අතර මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කරුණු දැක්වීම පිළිබඳ විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද අදහස් පළ කළේය.
“ජිනිවා කොමිසමේදී මහ කොමසාරිස්තුමියගේ වාර්තාවේ එක තැනක සඳහන් වෙනවා සමහර ආගමික නායකයන් බලාපොරොත්තු වෙනවයි කියලා පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට ඉක්මණින් නීතිය හමුවේ දඬුවම් ලබාදිය යුතුයි කියාලා. කතාවේම තවත් කොටසක සඳහන් වෙනවා ඒ සම්බන්ධයෙන් සිරගතවෙලා ඉන්න කිහිපදෙනෙක්ව නිදහස් කරන්න කියලා. ඉතින් මෙතන මත දෙකක් තියෙනවා. අපිට විරුද්ධව කතා කරන අයගෙත්. මේ පාස්කු කොමිසමේ වාර්තාවේ යම් යම් පිරිස් ගැන සඳහන් වෙනවා ඔවුන්ට නඩු දාන්න කියලා තර්කයක් තියෙනවානේ. නමුත් එහෙම කරන්න බැහැ. ඒ කොමිසම් වාර්තාව නීතිමය වාර්තාවක් නෙමේ. ඒ කොමිසම් වාර්තාවේ එන කරුණු නීතිපතිතුමා පොලීසිය පරීක්ෂණ කරලා, විමර්ශන කරලා තමයි ඉදිරි කටයුතු කටයුතු උසාවියක් හරහා කරන්න තියෙන්නේ.”
මේ අතර පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළ බෝම්බය පුපුරුවා ගත් ඉන්සාෆ් අහමඩ්ට අයත් ක්ලෝස්යස් තඹ කර්මාන්ත ශාලාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ විධිවිධාන ප්‍රකාරව රාජසන්තක කර තිබේ.
ඒ අනුව එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම සඳහා කර්මාන්ත අමාත්‍යයට භාරදී ඇති අතර එය අද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණි.
එහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ,
“තඹ කර්මාන්තයට අදාළ කොටස කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගන්න බලාපොරොත්තු වෙනවා. රටේ තඹ කර්මාන්තයට ප්‍රයෝජනයට ගන්නවා. පාස්කු ප්‍රහාරයට අදාළ සියලුම වගඋත්තරකරුවන් අත්අඩංගුවට ගෙන නැහැයි කියනවා නම් ඉතුරුවෙලා ඉන්නේ කවුද? කියලා අහන්න වෙනවා.”