චැනල් 4 නාළිකාව විසින් විකාශය කළ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනෙන් හෙළිදරව් කරන ලද තොරතුරු සහ එල්ල කරන ලද බරපතළ චෝදනා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
විනාශකාරී පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට චෝදනා කරමින් හිටපු නීතිපතිවරයෙකු ද මෙවැනිම ප්‍රකාශයක් කර ඇති බැවින් මෙය ඇවිලෙන ගින්නට පිදුරු දැමීම වැනි තත්ත්වයක් නිර්මාණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම ගැටලු පුළුල් ලෙස අවධානයට ලක්කර කඩිනමින් විසඳීම සඳහා, කැලඹිලි සහගත ප්‍රකාශයන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට ද රජයේ අපේක්ෂාව වී තිබේ.
පවතින තත්ත්වයෙහි බරපතළකම අනුව දැනට පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදුකිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අමතරව ඉදිරියේදී නිකුත්වීමට නියමිත මෙම වාර්තා දෙක ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
නීති සම්පාදකයින්ට තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම තුළින් නිවැරදි හා තීරණාත්මක ක්‍රියාමාර්ග සඳහා මඟපෑදීම මෙම පුළුල් ක්රියාදාමයේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
සත්‍ය සෙවීම සඳහා මෙම තීරණාත්මක විමර්ශනයන් සිදුකෙරෙන අතරම, වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටුකිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ රජයේ ප්‍රධාන අරමුණ බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.