පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කරවීමට වැඩපිලිවෙලක්…

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දෙන  ක්‍රීඩා අරමුදල් විධිමත්ව භාවිතා කර ගමේ දක්ෂ දරුවන් ක්‍රීඩා ඉසව් වෙත යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

රටේ තරුණ ප්‍රජාව ලක්ෂ 50 ක් පමණ ද පාසල් යන වසසේ දරුවන් ලක්ෂ 40 කට වැඩියි. ඒ තුළ සැගවුනු දක්ෂතා ඇති දරුවෝ බොහොමයක් සිටිනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වගකීමක් තමයි ඒ දක්ෂ දරුවන් සොයා ඔවුන්ට ඉදිරියට යාම සදහා අවශ්‍ය මාර්ගය සකස් කර දීම.

මේ සඳහා  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. ගම තුළ ශක්තිමත් ක්‍රීඩා සමාජ බිහිකර ඒ තුළට තරුණ තරුණියන් යොමු කරවා දක්ෂතා ඇති දරුවන් හදුනාගැනීම සදහා කුසළතා හදුනාගැනීමේ වැඩසටහනක් ‘‘Talent Identification Program’’ එකක් කඩිනමින් පවත්වන්න කටයුතු කරන්න.  ඒ තුළින් හදුනාගත් දරුවන් ඉදිරියට ගෙනවිත් දක්ෂතාවෙන් පිරිපුන් අලුත් පරපුරක් අපි අපේ රටට බිහි කළ යුතුයි.

ගමේ දරුවෝ ක්‍රීඩාවට යොමු වෙන ප්‍රවනතාවයේ අඩුවක් තිබෙනවා. ගමේ පංසලට දායකයෝ යන්නේ නීති රෙගුලාසි දාලා නෙවෙයි. පාසල් වලට දරුවෝ යන්නේ දෙමාපියන්ගේ කැපවීම මත. දරුවන් ක්‍රීඩාවට යොමු නොවන හේතුව අපි සොයා බැලිය යුතුයි. එතන කුමක් හෝ අඩුවක් තිබෙනවා. එ සදහා අපි පිළියම් යෙදිය යුතුයි.

මෙම අවස්ථාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික තරුණ සේවා සභාවේ සභාපති රවීන්ද්‍ර සමරවික්‍රම, ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා ඇතුලු නිළධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *