පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.නජීම් මහතා මේ බව සඳහන් කළේ මහනුවර මඩවලදී පැවැති මහනුවර දිස්ත්‍රික් අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලරවෙළඳ සංගමයේ මංගල රැස්වීම අමතමිනි.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ , සහල් සඳහා රුපියල් 220 ක පාලන මිලක් නියම කර තිබුණද ව්‍යාපාරිකයින්ට එම මිළට අලෙවි කළ හැකි මිලකට සහල් නොලැබෙන බවයි.
බොහෝ අවස්ථාවල සහල් කිලෝව රුපියල් 230 කට ලබා දී රුපියල් 220 කට අලෙවි කරන ලෙස දන්වන නමුත් එම මිළට අලෙවි කිරිමට කිසි සේත් නොහැකි බවයි.
ඇතැම් ව්‍යාපාරිකයින් පාලන මිළ පවතිද්දී වුවත් රුපියල් 230 කට ලැබෙන සහල් 235 කට හෝ 240 කට අලෙවි කළොත් වැඩි මිළට අලෙවි කිරීමේ චෝදනාව පිට පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදු කරන බවත් ජනතාව කළු කඩකාරයින් ලෙස චෝදනා කරන බවත් සඳහන් කරන ඒ මහතා මෙම ගැටළුව විසඳෙන තෙක් සහල් අලෙවි කිරිම වර්ජනය කිරීමට තම සංගමය කටයුතු කරන බවත්ය.
සහල් මල්ලේ රුපියල් 220 ක් ලෙස සටහන් කර තිබියදී පාරිභෝගිකයාට රුපියල් 235 කට හෝ 240 කට විකිණිම සාධාරණ නොවන බවද ඒ මහතා මෙහිදී කීය.
මහනුවර දිස්ත්‍රික් අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළද සංගමයේ මංගල රැස්වීමේ අවස්ථාවට සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළද සංගමයේ භාණ්ඩාගාරික , උප සභාපතිඇතුළු නිලධාරින් පිරිසක්ද එක්ව සිටියහ.