පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට ආරක්ෂක අංශ ඒකාබද්ධව – අවශ්‍ය නම් වෙඩි තැබීමට අවසර

පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනික නොවන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවත් රටේ නීතිය හා සාමය ඉහළම මට්ටමින් ආරක්ෂා කිරීමට සැමවිටම කැපවී සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

“දැනට පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනික නොවන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරනවා.අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබෙනවා.වර්තමාන රජය බලයට පත්වී වසරක් පමණ වන නිසා වසරක් ඇතුළත සියල්ල ඉටුකළ නොහැක.කෙසේ වෙතත් පොලිස් දෙපාර්තමේන්තුව සැලකිය යුතු වැඩ කොටසක් භාරගෙන තිබෙනවා” යැයි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසීය.

මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව විශේෂ කාර්ය බළකාය, පොලිසිය සහ අනෙකුත් ආරක්‍ෂක අංශ ඒකාබද්ධව විශේෂ මෙහෙයුම් දියත් කර ඇති බවත්, විශේෂයෙන් පාතාල ක්‍රියාකාරකම් වැඩිවන දකුණු පළාත තුළ ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පැවසීය.

“මේ වනවිට ප්‍රතිවාදී පාතාල කල්ලි කණ්ඩායම් අතර වෙඩි තැබීම් රැසක් වාර්තා වන අතර එවැනි ක්‍රියාකාරකම් නැවැත්වීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබේ. අවශ්‍ය නම් වෙඩි තබන ලෙස ද ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත. වගකිවයුතු රජයක් ලෙස ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබන බව පවසමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ සම්පූර්ණ විමර්ශන වාර්තාවේ පිටපතක් කතෝලික සභාව වෙත ලබාදුන් බව ද සඳහන් කළේය. .

“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පොලිස් පරීක්‍ෂණවලට කතෝලික පල්ලියේ සහය ද ලබාදිය යුතුයි,” ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *