ප්‍රමිති සහතික නැති එල්.ඊ.ඩී. විදුලි පහන් ආනයනය හා නිෂ්පාදනය තහනම්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සහතික කර නොමැති සහ බලශක්ති කාර්ය සාධන ප්‍රමිතිවලට අනුකූල නොවන එල්.ඊ.ඩී. විදුලි පහන් මෙරටට ආනයනය කිරීම හෝ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම තහනම් කර තිබේ.

ඒ අනුව අදාළ ප්‍රමිතීන්වලට අනුකූලව යම් එල්.ඊ.ඩී. විදුලි පහනක් මෙරට තුළ නිපදවීම හෝ මෙරටට ගෙන්වීම සිදු කරන්නේ නම් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත යටතේ නියම කර ඇති ආකෘතිය, මිණුම් සහ ප්‍රමාණයට අනුකූල වන ලෙස බලශක්ති කාර්ය සාධන ලේබලයක් අදාළ විදුලි පහන අසුරා ඇති දවටනයේ හෝ පෙට්ටියේ අලවා තැබිය යුතුය. එමෙන්ම නියමිත ලේබලය කවරයෙහි, දවටනයේ හෝ පෙට්ටියේ අලවා නොමැති එල්.ඊ.ඩී. විදුලි පහන් ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම, තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම හෝ බෙදාහැරීම සිදු නොකළ යුතු බවට නීති පනවා ඇත.

මේ පිළිබඳ විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා විසින් පසුගියදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *