පහත් බිම් රැසක් ජලයෙන් යට වේ

කැලණි ගඟ ආශ්‍රිතව නඩත්තු කරනු ලබන ගංඟා ජලමාපකවල ජල මට්ටම් ඉදිරි පැය කිහිපය තුළ උතුරා යන මට්ටමට ළඟාවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දෙහිඹ්විට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල ඇති වී තිබෙන සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් සැලකියයුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වියහැකි බවට එම දෙපාර්තමේන්තුව ජනතාවය අනතුරු අඟවයි.

මේ අතර කළු ගඟ, ගිං ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ද ජල මට්ටම් ඉහළ යමින් ඇති බව වාර්තා වේ.

එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාවද අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟ ආශ්‍රිතව පහත් බිම්වල ජීවත්වන ජනතාව අවධානයෙන් සිටින ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

හොරණ, අගලවත්ත, මිල්ලනිය, ඉංගිරිය, පාලින්ද නුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මදුරාවල සහ කළුතර යන ප්‍රදේශවල පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ඳනුවර සහ අගලවත්ත යන ප්‍රදේශවලට නායයෑමේ අවදානම් රතු නිවේදන නිකුත්කර තිබේ.

මේ වනවිටත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය ද තවදුරටත් දීර්ඝ කර ඇත.

ඊයේ උදෑසන 09.00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24 ක කාලයක් සඳහා එම අනතුරු ඇඟවීම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුකර තිබුණි.

පවතින තත්ත්වය හමුවේ එය අද පස්වරු 06.00 දක්වා බලපැවැත් වේ.

එම නායයෑම් අනතුරු ඇඟවීම් කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබේ.

ඊයේ වැඩිම වර්ෂාපතනයක් ඇහැලියගොඩ ප්‍රදේශයට ලැබී ඇති අතර එය මිලිමීටර 247 ක් ලෙස වාර්තා වේ.

මීට අමතරව ඉංගිරිය, කටුනායක, හොරණ, මිනුවන්ගොඩ, බණ්ඩාරගම සහ යක්කල ප්‍රදේශවලට ද ඊයේ වැඩි වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිබිඳ වැටීම් ද සිදුව තිබේ.

ඒ අනුව මේ වනවිට නිවාස 44,000කට පමණ විදුලිය ඇණහිට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

ඊයේ රාත්‍රියේ සිටම කළුතර, හොරණ, මතුගම, දඹුල්ල, හිනිඳුම, තවලම ඇතුළු ප්‍රදේශ රැසකට විදුලි බිඳ වැටීම් සිදුව තිබේ.

කෙසේවෙතත් නඩත්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර පවතින අධික වර්ෂාපතනය ඊට බරපතළ ගැටලුවක් බව ද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *