පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් වහා බදවා ගනියි: ඇමති

සම්මුඛ පරීක්ෂණයකට පමණක් සීමා වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු මාතාවන්) 1500ක් බඳවා ගැනීම කඩිනම් කිරීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව අදාළ බඳවා ගැනීම් පිළිබඳ නිශ්චිත තීරණයක් ඉදිරි දින කිහිපයේදී ගන්නා බව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

2021 ජනවාරි මස ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත. ඒ පවුල් සෞඛ්‍ය සේවා සඳහා නව පත්වීම් 2500ක් ලබාදීමටයි. එහෙත් ඔවුන්ගෙන් දැනට පුහුණුව ලබමින් සිටින්නේ 1000ක් පමණක් බවත් ඉතිරි පිරිස තවමත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින බවත් අනාවරණය විය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ පත්වීම් අත්හිටුවීම හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ සමත් වූවන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි.

සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ආදායම ප්‍රමාණවත් නොවන තත්ත්වයක් යටතේ රජයට සියලු වියදම් කළමනාකරණය කිරීමට සිදුව ඇති බවයි. නමුත් සෞඛ්‍ය වැනි අතිශය වැදගත් ක්ෂේත්‍රයක බඳවා ගැනීම් නොසලකා හැරිය නොහැකි බව පැවසූ අමාත්‍යවරයා ඊට අදාළ බඳවාගැනීම් සිදුකිරීමේ හැකියාව සොයා බලන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

ඒ අනුව මේ සඳහා ලෝක බැංකු ආධාර වැඩසටහන යොදා ගැනීමේ හැකියාව පවතින බවත් එසේ නොමැති නම් ඒ සඳහා මුදල් ලබා ගැනීමේ විකල්ප ක්‍රමයක් සකස් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

රජයට ආදායම් ලබාදෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පවා පුරප්පාඩු පවතින බවත් ඊටත් වඩා ප්‍රමුඛතාවයක් ලබාදෙමින් සෞඛ්‍ය සේවයට බඳවාගැනීම් සිදු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *