නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියට සමුදෙයි

ශ්‍රී ලංකාව බිහිකළ තවත් විශිෂ්ට පන්දු යවන්නකු වන නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට අද(24) තීරණය කර ඇත.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නුවන් කුලසේකර මේ බව ප්‍රකාශ කළ අතර තමාට සමුගැනීමේ තරගයක් ලබාදෙන මෙන් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඔහු ඉල්ලීමක් ද කර තිබිණි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බවට ප්‍රකාශ කිරීමට නියමිතව සිටි බව ද කී කුලසේකර ලසිත් මාලිංග ලෝක කුසලාන තරගාවලිය අතරතු කළ ප්‍රකාශය සලකා බලා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළ බවද සඳහන් කළේය.

මේ අතර නුවන් කුලසේකරට බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තර‍ගයේදී සමුගැනීමක් ලබාදෙන බවට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබිණි. තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මින් පෙර මාධ්‍ය හමුවේ නුවන් කුලසේකර කවුදැයි ප්‍රශ්න කර තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවෙචන රැසක් එල්ල විය.

මේ වන විට 37 වැනි වියේ පසුවන නුවන් කුලසේකර ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවෙකි. 2003 වසරේ නොවැම්බර් 18 වැනිදා එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට පිවිසෙන ඔහු සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළේ 2017 වසරේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ දී සිම්බාබ්වේ කණ්ඩායම සමගිනි. ඒ වනවිට ජාත්‍යන්තර එක්දින තරග 184කට ක්‍රීඩා කර ඇති නුවන් කුලසේකර කඩුලු 199ක් බිඳ හෙළා ඇත. 2005 වසරේ දී නවසීලන්තයේ නේපියර් හිදී සිය මංගල ටෙස්ට් තරගයට එක්වූ කුලසේකර එදා මෙදාතුර ටෙස්ට් තරග 21කට සහභාගීවී බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 48කි. ජාත්‍යන්තර 20-20 ක්‍රිකට් පිටියේ දී කඩුලු 125ක් බිඳ හෙළා ඇති කුලසේකර 2014 වසරේ දී 20-20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමේදී සුවිශේෂී කාර්ය භාරයක් කළ ක්‍රීඩකයකු ලෙස ඉතිහාස ගතවිය. එමෙන්ම 2015 වසරේ නවසීලන්තය හා ඕස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගයේදී ලකුණු 320ක් හඹා යමින් කුමාර් සංගක්කාර සමග එක්ව තරගය ජයග්‍රහණය කිරීමට සිදුකළ පිතිහරඹය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට කිසිදා අමතක නොවන අත්දැකීමක් එක් කළේය.

2008/2009 වසරවල ලෝක ක්‍රිකට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයේ රැඳී සිටීමටද නුවන් කුලසේකර සමත් විය.

(මූලාශ්‍ර හා ඡායාරූප – Cricinfo වෙබ් අඩවිය ඇසුරිනි)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *