නීතිවිරෝධී ලෙස රටින් පිටවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 91 දෙනෙකු අත්අඩංගුවට…

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 ජූනි 07 වන දින මාරවිල සහ බටහිර මුහුදේ සිදු කරන ලද වෙනම මෙහෙයුම් වලදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 91 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

මාරවිල පොලිසියට අනුයුක්ත බස්නාහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ජුනි 07 වැනි දින අලුයම මාරවිල ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. නීතිවිරෝධී සංක්‍රමණිකයන් බවට සැක කෙරෙන 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අතර වයස අවුරුදු 09 සිට 58 දක්වා වූ පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු, පිරිමි ළමුන් 01 දෙනෙකු සහ මිනිස් ජාවාරම්කරුවන් 01 දෙනෙකු ද වන බව සඳහන්. ඊට අමතරව එම නීති විරෝධී ක්‍රියාව සඳහා යොදාගත් වෑන් රථයක් සහ මෝටර් රථයක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක ෆ්ලෝටිලා හි වේග ප්‍රහාරක යාත්‍රාවක් වන P 481 ජූනි 07 වන දින පස්වරුවේ හලාවත දෙසින් මුර සංචාරයක යෙදී සිටියදී සැක කටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අල්ලා ගන්නා ලදී. නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන වයස අවුරුදු 01 සිට 62 දක්වා පුද්ගලයින් 76 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 58 දෙනෙකු, කාන්තාවන් 05 දෙනෙකු, ළමුන් 07 දෙනෙකු සහ පුද්ගලයින් 06 දෙනෙකු නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සම්බන්ධ වූ බව සඳහන්. තවද, ජාවාරම්කරුවන් විසින් භාවිතා කරන ලද දේශීය බහුදින ධීවර යාත්‍රාව ද නාවික හමුදාව භාරයට ගෙන ඇත.

මාරවිල ලැගුම්හලේ රඳවා සිටි සැකකරුවන් පිරිස යාපනය, ත්‍රිකුණාමලය, මුලතිව් සහ මාරවිල ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මාරවිල පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මේ අතර හලාවත මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 76 දෙනෙකු මීගමුව, හලාවත, පුත්තලම, කල්පිටිය, මාරවිල, මුලතිව්, කිලිනොච්චිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. එම පුද්ගලයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

දිවයිනෙන් සංක්‍රමණය වීමට නීතිවිරෝධී සහ අනතුරුදායක මුහුදු ගමන්වල නිරතවීමට පෙළඹෙන ජාවාරම්කරුවන්ගේ උගුලට හසුවී ජීවිත හා දේපළ අවදානමට ලක්වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි ගමන් බිමන් සඳහා භාවිත කරන නටබුන් ධීවර යාත්‍රා කිසිසේත්ම මුහුදට සුදුසු ඒවා නොවන බව නිරීක්ෂණය වී ඇත. එබැවින් මෙම යාත්‍රා මගින් සංක්‍රමණය වීමට උත්සාහ කිරීම ජීවිතවලට දැඩි අවදානමක් ඇති කළ හැකි බවට නාවික හමුදාව මහජනතාවට අනතුරු අඟවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *