නිර්දේශ මත ප්‍රගතිය ලබා ගැනීම සම්බන්ධයෙන් කෝප් කමිටුව වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රශංසා කරයි

පසුගිය කෝප් කමිටු රැස්වීම්වලදී ලබාදුන් නිර්දේශ අනුව වෘත්තීය පුහුණු අධිකාරිය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රශංසා කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝ.09) ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුව පවසයි.

මාර්තු 23 වැනිදා සහ මැයි 09 වැනිදා ලබාදුන් කෝප් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් විය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එම රැස්වීමේදී කෝප් කමිටුවේ අවධානය පහත සඳහන් කරුණු පිළිබඳව ද අවධානය යොමු විය.

අධිකාරියේ සංයුක්ත සැලැස්ම

අධිකාරියේ සංයුක්ත සැලැස්ම සකස් කිරීම සඳහා මූලික වැඩමුළුවක් පැවැත්වීමෙන් අනතුරුව 2023-2027 වසර සඳහා සංයුක්ත සැලැස්මක් සකස් කළ අතර අධ්‍යක්ෂ මණ්ඩලය එය අනුමත කළ බව අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.

අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අනෙකුත් තනතුරුවල පුරප්පාඩු

පුරප්පාඩු වූ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පිරවීමට පියවර ගෙන ඇති අතර සම්මුඛ පරීක්ෂණය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවද මෙහිදී අනාවරණය විය. තවද, බඳවා ගැනීම් සඳහා අනුමැතිය ලබාදීමේ අධිකාරිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත නැවත පවරා ඇති බැවින් ඉතිරි ප්‍රධාන තනතුරු 6 සහ අනෙකුත් පුරප්පාඩු පිරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපතිවරයා දැනුම් දුන්නේය.

රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් සිසුන් බඳවා ගැනීම

දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මේ වසරේ සිසුන් 35,000ක් බඳවාගෙන ඇතැයි වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා පැවසීය. එය වැඩිදියුණු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර දැනටමත් පුහුණු ශ්‍රමිකයින් සඳහා ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් නිකුත් කිරීමට ද නිර්දේශ විය.

දකුණු කොරියාව, ඕමානය ඇතුළු රටවලින් ලැබෙන රැකියා ඉල්ලුමට අනුව කටයුතු කරන බවත් රැකියා ඉල්ලුම වැඩි ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය. මේ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ගිවිසුම්ගතව පවතින බවත් පුහුණු ශ්‍රමිකයන් 2000කට ආසන්න පිරිසකගේ දත්ත ලබාදී ඇති බවත් අනාවරණය විය.

පාසල් හැර යන තරුණ තරුණියන් නිසි වෘත්තීය පුහුණුවකට යොමු කිරීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා අවධාරණය කළේය. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එහි නියමු ව්‍යාපෘතිය පසුගියදා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දී පැවැත්විණි. ඒ අනුව රැකියා වෙළෙඳපොළට ගැළපෙන පරිදි නව පාඨමාලා ආරම්භ කිරීමට නිර්දේශ විය.

පාඨමාලා උපදේශකවරුන්ගේ වැටුප් ඇතුළු ගැටළු

මෙම ආයතන භාණ්ඩාගාරයෙන් නඩත්තු කරනවා වෙනුවට ස්වයං ආදායම් උපයන ආයතන බවට පත්කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය. (ගාස්තු අයකිරීමේ ක්‍රමය) තවද උපදේශකයින් වෙත ගෙවනු ලබන ගෙවීම් ප්‍රමාණවත් නොවන බැවින් උපදේශකයින් සේවය හැර යාම වැනි ගැටළු පිළිබඳව අවධානය යොමු කරන ලදී. ඒ අනුව පහත නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

  • උපදේශකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ ඒ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීම
  • අධිකාරිය විසින්ම පාඨමාලා හරහා එකතු කරන මුදල් උපදේශකවරුන්ගේ ගෙවීම් වැඩි කිරීමට යොදා ගැනීම (ගාස්තු අයකිරීමේ ක්‍රමය)
  • උපදේශකයින් පුහුණු කිරීමට සහ ඔවුන්ට යම් වෘත්තීය සුදුසුකම් ලබා දීමට නව වැඩසටහනක් ආරම්භ කරන්න.
  • උපදේශකවරුන්ගේ ගෙවීම් ඉහළ නැංවීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස කෝප් සභාපතිවරයා උපදෙස් දුන්නේය.

මෙම කමිටු රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, (මිය) රාජිකා වික්‍රමසිංහ, මධුරා විතානගේ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *