textbooks for new school term

නව පාසල් වාරය සඳහා නොමිලේ පෙළපොත් ලබාදීමට කැබිනට් අනුමැතිය…

2023 නව පාසල් වාරය සඳහා පාසල් සිසුන්ට නොමිලේ පෙළපොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පෙළපොත්වලින් 45%ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන්ද 55%ක් පෞද්ගලික මුද්‍රණ ආයතනවලින්ද මුද්‍රණය කරන බව ඔවුහු පැවසූහ.

ඒ අනුව සුදුසුකම් ලත් පෞද්ගලික මුද්‍රණ ආයතන 22කට මුද්‍රණ නියෝග ලබාදී ගිවිසුම් අත්සන් කර ඇත. ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු පළමු කඩදාසි තොගය ද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති අතර, පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතී.

අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත් වී ගිවිසුම්ගත මුදලින් 20% ක අත්තිකාරමක් පෞද්ගලික මුද්‍රණ ආයතන වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇත.

මෙම අත්තිකාරම් මුදලින් 50%ක් පමණ 2022 ප්‍රතිපාදන මගින් ඉල්ලා සිටින මුද්‍රණාල වෙත මුදා හැරීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයට පෞද්ගලික මුද්‍රණ ආයතන කිහිපයකින් මුද්‍රිත පෙළපොත් ලැබී ඇති අතර තවත් එවැනි පෙළපොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගබඩාවට ලැබීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතී.

ඉතිරි අත්තිකාරම් සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා තිබූ අතර, එම සාකච්ඡාවෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ඉන් කොටසක් ලබාදීමට භාණ්ඩාගාරය එකඟ වී ඇත.

ඒ අනුව ඉදිරි සතියේදී මුද්‍රණකරුවන් විසින් ඉදිරිපත් කරන ලද බිල්පත් සඳහා සහ අත්තිකාරම් මුදලින් මුද්‍රණ යන්ත්‍ර සඳහා ගෙවීමට ඉතිරිව ඇති කොටස සඳහා මුදල් නිකුත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *