ධනුෂ්ක අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ලබාදුන් ප්‍රකාශය ප්‍රථම වරට මාධ්‍යයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි දින 04ක් තිස්සේ පැවැති ලිංගික චෝදනා නඩු විභාගය අදින් අවසන් වූ අතර එහි තීන්දුව සැප්තැම්බර් 28 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

අධිකරණය මෙහිදී, ධනුෂ්ක අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලීසියට ලබාදුන් ප්‍රකාශය ප්‍රථම වරට මාධ්‍යයට නිකුත් කෙරුණි.

සිඩ්නි නුවර නිව්සවුත් වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේදී ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නඩුව අද සිව්වැනි දිනටත් විභාග කෙරුණි.

එම අවස්ථාවට පැමිණිල්ලවූ කාන්තාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු විභාගයට සම්බන්ධවූ අතර ධනුෂ්ක සිය නීතිඥයින් සමගින් අධිකරණයේ පෙනීසිටියේය.

අදාළ කාන්තාව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ගේබ්‍රිරියල් ස්ටීඩ්මන් සහ ධනුෂ්කගේ නීතිඥ මුරුගන් තංගරාජා අවසාන තර්ක විතර්ක අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අදාළ කාන්තාව සබඳතාවක් සඳහා පොළඹවා ගැනීමට ධනුෂ්ක දැඩි පරිශ්‍රමයක් දරා ඇති බවට පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥයා අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරුණි.

ධනුෂ්කගේ නීතිඥවරයා විත්තියේ කරුණු දැක්වීම අවසන් කරමින් පැවසුවේ, ධනුෂ්ක අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක නිරත වූ බවට පැමිණිලිකාර කාන්තාව වරින්වර ලබාදී ඇති සාක්ෂි බෙහෙවින් පරස්පර බවය.

මේ අතර, 2022 වසරේ නොවැම්බර් දෙවැනිදා වූ සිද්ධිය සම්බන්ධයෙන් 6 වනදා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ධනුෂ්ක ගුණතිලක පොලීසියට දුන් ප්‍රකාශයේ වීඩියෝ දර්ශන අධිකරණය විසින් අද පළමුවරට මාධ්‍යයට නිකුත් කළා.

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක,

“අනාගතය සහ පසුගිය ආත්මය ගැන කියන්න පුළුවන් කියලා ඇය කිව්වහම ඒ ගැන මට උනන්දුවක් ඇතිවුණා. බෞද්ධයෙකු විදයට අපි හඳහන් බලනවා සෑම මාස 2කට වරක් වගේ. මගේ අම්මයි එය පරීක්ෂා කරන්නේ. මම හිතුවා එය උනන්දුව දනවන සුළු සංවාදයක් කියා.”

පොලිස් කාන්තාව, – “ඔබ මොනව හරි පරීක්ෂා කරන බව කිව්වද ?”

අනෙක් පොලිස් නිලධාරියා – “හඳහන”

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, – “හඳහන”

පොලිස් කාන්තාව – “ඔබ ඔබගේ මව ගැන මොනවවත් කිව්වද ?’

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, –  

“මම කිව්වේ මගේ අම්මා මාස දෙක තුනකට වරක් හඳහන පරීක්ෂා කරන බව. ඒක එක අතකින් ආශීර්වාදයක් වගේ. එතකොට අපි පන්සලට ගොස් ආගමික කටයුතු වගේ දේ කරනවා. ඒ හඳහන් විශ්වාස කරන අය ගැන මම කිව්වේ. ඇය කිව්වා ඇයට එම බලය තිබෙන බව. මමත් දැනං හිටියා හාමුදුරුවෝ කෙනෙකුට හෝ කිහිපදෙනෙකුට පමණක් එවැනි බලයක් තිබිය හැකි බව. ඒ බුද්ධාගම අනුව. ඔව් මට ඉතිං උනන්දුවක් ඇති වුණා. මට මතකයි මම හිනාවෙලා ඇයගෙන් ඇහුවා.. ගිය ආත්මේ මම කවුරුන්ද කියා ? ඇය දෑස් පියාගෙන මොනව කළාද කියා මම දන්නේ නැහැ. ඇය කිව්වා ඇය සහ මම තායිලන්තයේ අසල්වැසියන් ලෙස සිටි බව. අපි තායිලන්තයේ ඉපදී ඇය හා අසල්වාසීන් ලෙස ජීවත් වූ බව ඇය කිව්වා.” 

පොලිස් කාන්තාව – “ඔබ සහ ඇය අසල්වැසියන් ?”

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, – ” ඔව්, ගිය ආත්මයේ තායිලන්තයේදි. පසුව මට යම් බියක් ඇතිවුණා. මම දන්නේ නැහැ මට එහෙම හැඟීමක් ඇති වුණේ ඇයිද කියලා.”

ධනුෂ්ක ගුණතිලකට එරෙහි ලිංගික චෝදනා නඩුවේ තීන්දුව ලබන 28 වනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *