දේශපාලන කරළිය තවත් උණුසුම් වෙයි – උඩු යටිකුරුවන තීරණ තවදුරටත්

ජනපතිවරණයට තවත් ඇත්තේ දින 40කට ආසන්න කාලයක් පමණි. එක මිනිත්තුවට දේශපාලන තීන්දු තීරණ වෙනස්වන ශ්‍රී ලංකාවේ ඉදිරි දින 40 ඇතුළත කුමකින් කුමක් සිදුවේදෝයි බොහෝ දෙනකු සිතාගැනීමටවත් නොහැකිව සිටිති. මේ වනවිට ජනපතිවරණයේ ප්‍රබලම සටන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර ද්වන්ධ සටනක් බවට පත්වෙමින් තිබේ. ඒ ජනපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් ගණන 33 දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇති බැවිනි. ඒ අනුව අනෙකුත් අපේක්ෂකයන්ට සැලකිය හැකි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවේදැයි ඇත්තේ ගැටලුවකි. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ හිටපු හමුදාපති මහේෂ් සේනානායක යන මහත්වරුන්ට යම්කිසි ඡන්ද පදනමක් නිර්මාණය වෙමින් පවතී. නමුත් එය ප්‍රධාන දෙදෙනාට බලපෑම් කළ හැකි තත්ත්වයක් නොවනු ඇතැයි මැදහත් දේශපාලන විචාරකයින්ගේ අදහස වී තිබේ.

මේ අතර දේශපාලන පොර පිටියේ කරනම් ගැසීම් පැනීම්, ඉවත්වීම් ආදී විවිධ සිදුවීම් මේ වනවිටත් ආරම්භ වී තිබේ. පසුගියදා එස්.බී.නාවින්න ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධවී සිටි කිහිප දෙනකු සජිත් ප්‍රේමදාස මහතාගේ සහායට ගිය බව වාර්තා විය. එසේම හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක ගේ සහාය සජිත් ප්‍රේමදාසට හිමිවී තිබේ. ඔහු පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළ අතර කූඨ ලේඛන සැකසීම සම්බන්ධයෙන් නඩුද පවරා තිබූ අයෙකි.

එජාප ප්‍රබලයකු මේ වනවිට ගෝඨාභය මහතා හමුවී සිය සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට පළ කිරීමට සූදානමින් ඇතැයි දේශපාලන ආරංචි පවසයි. ඒ සඳහා සාකච්ඡාද පැවැත්වී ඇති අතර ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් සම්බන්ධයෙන් කොන්දේසියක් ද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. නමුත් වෙනතුරු  ඒ සම්බන්ධ එකඟතාවයක් ඇතිවී නැත.

පසුගිය සතියේ දේශපාලන පිටිය උණුසුම් කළ සිදුවීමක් වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සමයි. චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන දෙදෙනා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර අධිකරණ තීන්දුව ලැබෙන තුරු බොහෝ දෙනා සිටියේ දෙගිඩියාවෙනි. විශේෂයෙන්ම පොදුජන පෙරමුණ ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් වෙනත් අය සූදානම් කරනුද දක්නට ලැබිණි. හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කරන්නේද නඩුවේ තීන්දුව ලබාදීමට මොහොතකට පෙරය. ඒ අනුව තීන්දුව ගෝඨාභය රාජපක්ෂ මහතාට තවදුරටත් ඉදිරි මැතිවරණ කටයුතු කරගෙන යාමට අවකාශ ලබාදෙමින් පෙත්සම නිෂ්ප්‍රභ කෙරිණි. එය ජයග්‍රහණයක් ලෙස සැමරීම රටපුරා සිදුවිය. රතිඤ්ඤා දල්වමින් මහමගට බැස බොහෝ පිරිස් ප්‍රීතිඝෝෂා කළ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද රාජපක්ෂ සොහොයුරන්ද පොදුජන පෙරමුණ හා එක්ව සිටින අනෙකුත් පක්ෂ නායකයින්ද ගෝඨාභය මහතා සමග එක්ව ජයග්‍රහණය සමරන අයුරු දක්නට ලැබිණි.

මේ අතර මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ මහජන වේදිකාව පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. සිතූ තරම් එය ජනතාව අතරට ගෙනයාමට හැකිවිණිදැයි ඇත්තේ ගැටලුවකි. ඒ සඳහා ජනපති අපේක්ෂකයන් කිහිප දෙනකු එක්වූ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට එක්වූයේ නැත. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය තුළද එතරම් කථාබහක් ඇති නොවූ අතර අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවට ගොඩවී සිය දේශපාලන න්‍යායන් සහ සැලසුම් ඉදිරිපත් කළහ.

මේ අතර අවසන් තීන්දුව ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් කල්මරමින් සිටින ආකාරය දක්නට ලැබිණි. මේ වනවිට අවසන් එකගතාවයක් ඇතිවී ඇතැයි කිසිම විටක එජාපයට සහාය නොලැබෙන බවද වාර්තා වේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට ශ්‍රීලනිපය කැමැත්ත පළ කර ඇතැයිද ඇත්තේ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් ගැටලුව පමණක් බවද පසුගියදා ප්‍රකාශ විය. එය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ප්‍රකාශ කළ අතර මේ වනවිට ගැටලුව ලකුණ වෙනස්කර හෝ නිරාකරණය කරගනිමින් අද(6) අවසන් තීරණයක් ගැනීමට නියමිතය. ශ්‍රීලනිප අපේක්ෂකයකු නැති නිසා තමා තනිව තරග වදින බව කුමාර වෙල්ගම මහතා පසුගියදා ප්‍රකාශ කළ අතර ඔහුට ඇති ඡන්ද පදනම ජනපතිවරණයකට ප්‍රමාණවත් නොවනු ඇත.

හෙට(7) නාම යෝජනා බාරදීමෙන් අනතුරුව සියලු අපේක්ෂකයින් සිය දේශපාලන රැස්වීම්, ජනහමු, ප්‍රචාරණ කටයුතු තවදුරටත් පුළුල් කරනු ඇත. ඒ අනුව ඉදිරියේදී එළැඹෙන්නේ කවුරුත් කාර්ය බහුලවන කාලයකි. මේ අතර පාර්ලිමේන්තුවේ කටයුතුද සීමා කර ඇති අතර පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත එළැඹෙන සතියේදී එය එක්දිනකට පමණක් සීමා කර ඇත. ඒ අනුව සියලු මැති ඇමැතිවරුන් සිය සම්පූර්ණ කාලයම ජනපතිවරණය සඳහා යොදවනු ඇත.

දෙමළ ජාතික සන්ධානය සිය ස්ථාවරය මේවනතුරු දන්වා නොමැති අතර ඔවුන් තනි අපේක්ෂකයකු ඉදිරිපත් නොකරනු ඇත. බොහෝ දුරට ඇත්තේ ඔවුන්ගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන පසුබිමක්ය. නමුත් ඊට කොන්දේසි කිහිපයක් එක්වනු ඇතැයි බලාපොරොත්තුවේ. මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයද සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට යන බවට තොරතුරු වාර්තාවේ. මේ අනුව සියලු සුළු ජාතික ඡන්ද අතරින් වැඩි ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස මහතාට යන බවට ඉඟි පළවන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ ඡන්ද පදනම මත මේ වනවිටත් ස්ථාවරය සකස් කරගනිමින් සිටී. මේ අතර ඇතැම් මුස්ලිම් හා දෙමළ ප්‍රජාව ගෝඨාභය මහතාට ඍජුවම සහාය පළ කිරීමට එකඟවී ඇති අතර ඒ සම්බන්ධ ජනහමු කිහිපයක්ද පසුගියදා පැවැත්විණි. විශේෂයෙන්ම මඩකලපුව ඇතුළු නැගෙනහිර ඡන්ද බහුතරයක් ගෝඨාභය මහතාට දිනා ගැනීමේ අවකාශ සැලසී ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. ශ්‍රීලනිප සහායත් ලැබුණහොත් පොදුජන පෙරමුණේ ඡන්ද පදනම තවත් ශක්තිමත් වන අතර පාවෙන ඡන්ද ලබාගැනීමට දෙපාර්ශ්වයටම වැඩි ශක්තියක් වැය කිරීමට සිදුවනු ඇත. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවේ සිදුකරන ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් එජාපය තුළින්ම ප්‍රබල විරෝධයක් මතුවී ඇති අතර මේ හේතුවෙන් ඔහුට ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි විය හැකි බවද බොහෝ දෙනාගේ අදහස වී තිබේ. පසුගියද තමාගේ ශ්‍රී මුඛය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කළ කථාවට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ විවේචන එල්ලවී තිබේ. ශ්‍රී මුඛය ඇත්තේ බුදුරජාණන්වහන්සේට පමණි. එබැවින් එවැනි කථාවක් මගින් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසයට හා අපහාසයට ලක්වීම නොවැළැක්විය හැකිය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද ඔහුගේ මෙම කථා සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත. එමෙන්ම ඔහු පසුපස සිටින බිරිඳ හා මව නිසා බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්වීමද සිදුවී තිබේ. මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට එජාප ඡන්ද පදනමද ස්ථාවරව තබාගැනීමට විශාල සටනක් කිරීමට සිදුවී තිබේ.

එළැඹෙන සතිය තවත් තීරණාත්මක වනුයේ ඇල්පිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බැවිනි. එහි ජයග්‍රහණය ද ජනපතිවරණයට ප්‍රබල ලෙස ප්‍රචාරණයක් වන බැවින් දෙපක්ෂයේම අවධානය ඒ කෙරෙහිද යොමුවී තිබේ. ඇල්පිටියේ ජයග්‍රහණය නියත වශයෙන්ම පොදුජන පෙරමුණට ලැබෙනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයෝ පවසති. ඒ පසුගිය මැතිවරණ ඉතිහාසය හා සැසඳීමේදීය. නමුත් ජන මතය කොයි මොහොතේ වෙනස්විය හැකිදැයි පැවැසිය නොහැකිය.

තවදුරටත් තීරණාත්මක ජනපතිවරණයක උණුසුම්වන ක්‍රියාකාරකම් ඉදිරියේදී දැකගත හැකිවනු ඇත. මඩ ව්‍යාපර ඔස්සේ නොව ප්‍රතිපත්තිමය දේශපාලනයක අවශ්‍යතාවය ජනතාව අවධාරණය කරමින් සිටී. ඒ අනුව ඉදිරි කාලයේදී අපේක්ෂකයින්ගේ හැසිරීමද ඡන්ද පදනමට බොහෝ බලපෑම් කරනු ඇතැයි සිතිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *