දුමින්දට

දුමින්ද සිල්වා අත්අඩංගුවට…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

දුමින්ද සිල්වාට ලබාදී තිබූ විශේෂ ජනාධිපති සමාව අධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ උපදෙස් දුන්නේය.

දුමින්ද සිල්වාගේ විදේශ ගමන් තහනමක්ද නිකුත් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කරන ලෙස අතුරු නියෝගයක් නිකුත් කර තිබුණේ එය අධිකරණයට භාරදෙන ලෙස බලධාරීන්ට දන්වමිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ මව වන ස්වර්ණා ප්‍රේමචන්ද්‍ර සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදී ඇත්තේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ පියා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් 2016 වසරේදී කොළඹ මහාධිකරණය විසින් සිල්වා මහතා ජීවිතාන්තය දක්වා සිරගත කරනු ලැබුවා.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාව සිල්වා මහතා නිදහස් කරන ලෙස නිර්දේශ කර ඇති අතර ඉන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 ජුනි මාසයේදී විශේෂ ජනාධිපති සමාවක් ලබා දී ඇත.

දුමින්ද සිල්වා මේ මස මුලදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී (BIA) දැකීමෙන් පසු රට හැර ගොස් ඇති බවට වාර්තා කිහිපයක් තිබියදීත්, ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටියදීය.

Leave a Reply

Your email address will not be published.