දිල්ලි නුවර මහල් හයක ගොඩනැගිල්ලක් කඩා වැටී 6ක් මරුට

ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ මහල් හයක ගොඩනැගිල්ලක් ඉරිදා පස්වරුවේ කඩා වැටීමෙන් පුද්ගලයන් අවම වශයෙන් හය දෙනෙකු මියගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

තවත් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බවට සැක කෙරෙන අතර, මේ වන විට පුද්ගලයන් 11 දෙනෙකු බේරාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මට්ටමේ විමර්ශනයක් පැවැත්වීමට දිල්ලි රජය නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද සිය කනගාටුව පළ කර තිබේ.

“දිල්ලිහි සත්‍ය නිකේතන් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීම කනගාටුදායක සිදුවීමක්. තම ආදරණීයයන් අහිමි වූ සියලු දෙනා වෙත මගේ ශෝකය පළ කරනවා. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. බලධාරීන් එම ස්ථානයේ මෙහෙයුම් සිදුකරමින් සිද්ධියෙන් බලපෑමට ලක්වූවන්ට සහාය වෙමින් සිටිනවා” යනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය ඔහු උපුටා දක්වමින් X ඔස්සේ සඳහන් කර තිබේ.

නිලධාරීන් සඳහන් කළේ, ඇඳන් 75කින් සමන්විත ගෙවීම් මත නවාතැන් පහසුකම් ලබාදෙන ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති බවත්, එය පස්වරු 1.30ට පමණ කඩා වැටී ඇති බවත්ය. ගොඩනැගිල්ලේ හිමිකරු ගුරුග්‍රාම් ප්‍රදේශයේ පදිංචිව සිටින බවද වාර්තා වේ.

දිල්ලි විශ්වවිද්‍යාලයේ දකුණු පරිශ්‍රය ආසන්නයේ පිහිටි සත්‍ය නිකේතන් ප්‍රදේශයේ විශාල ශිෂ්‍ය ජනගහනයක් ජීවත් වන බව සඳහන් වේ.

පොලිසිය පැවසුවේ, මූලික විමර්ශනවලදී මෙම ගොඩනැගිල්ල වසර 40ත් 50ත් අතර පැරණි එකක් බවත්, එහි බිම් මහලක් සහ ඉහළ මහල් පහකින් සමන්විත වූ බවත් අනාවරණය වී ඇති බවයි.

එය ශිෂ්‍යයන් සහ අනෙකුත් පුද්ගලයන් සඳහා නවාතැන් පහසුකම් සපයන PG නවාතැන් ගොඩනැගිල්ලක් ලෙස භාවිත කර ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි බිම් මහලේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබූ බවද පොලිසිය සඳහන් කර ඇත.

දිල්ලි පොලිසිය, ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF), දිල්ලි ගිනි නිවන සේවය සහ දිල්ලි ආපදා කළමනාකරණ අධිකාරියේ (DDMA) කණ්ඩායම් ගිනි නිවන රථ සහ CATS ගිලන් රථ සමඟ එම ස්ථානයට පැමිණ ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ගලවා ගැනීමේ මෙහෙයුම ඒකාබද්ධ පොලිස් කොමසාරිස්වරයා, නවදිල්ලි පරාසය භාර නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා සහ අතිරේක නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරන බවද පොලිසිය පවසයි.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු සඳහන් කර ඇත්තේ ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි සිසුන් 50කට ආසන්න පිරිසක් සිටින්නට ඇති බවට විශ්වාස කරන බවයි. ඉරිදා දිනයක් බැවින් බොහෝ සිසුන් තම කාමරවල සිටි බවද ඔහු පවසා ඇත.

එම ස්ථානයේ සිටි ශිෂ්‍යයෙකු ඉන්දීය ANI පුවත් සේවයට පවසා ඇත්තේ සුන්බුන් යටින් පුද්ගලයන් උදව් ඉල්ලා කෑගසන හඬ තමන්ට ඇසුණු බවයි.

තවත් ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සඳහන් කර ඇත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ල පිරිමි පුද්ගලයන් සඳහා වූ ‘Hostel Daze’ නම් PG නවාතැන් පහසුකමක් බවයි.

සිද්ධියෙන් පසු ගොඩනැගිල්ල තිබූ ස්ථානයට විශාල ජනකායක් රැස්ව සිටින ආකාරය දැක්වෙන දර්ශනද මාධ්‍ය ඔස්සේ පළ වී තිබේ. ගිනි නිවන භටයන් සුන්බුන් අතර දිවි ගලවාගත් පුද්ගලයන් සොයමින් සිටින අතර, ගලවා ගැනීමේ කණ්ඩායම් සහ යන්ත්‍ර පැමිණෙන තෙක් බලා නොසිට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුද සිය දෑතින්ම සුන්බුන් ඉවත් කිරීමට එක්ව තිබේ.

අන්තර්ජාලය ඔස්සේ පළ වූ එක් වීඩියෝවක, කොන්ක්‍රීට් තහඩුවක් යට සිරවී සිටින පුද්ගලයෙකු මුදා ගැනීම සඳහා තවත් කිහිපදෙනෙකු දැඩි උත්සාහයක නිරත වන ආකාරය දැක්වේ.

ගිනි නිවන රථ අවම වශයෙන් 12ක් මුලින්ම සිද්ධිය වූ ස්ථානයට යොමු කර ඇති අතර, සුන්බුන් ඉවත් කිරීම සහ ගලවා ගැනීමේ කටයුතු සඳහා කැණීම් යන්ත්‍රයක්ද යොදවා තිබේ.

ගිනි නිවන කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කිරීම සඳහා ආපදා ප්‍රතිචාර කණ්ඩායම්ද එම ස්ථානයට යොදවා ඇති බව බලධාරීහු සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *