දින 29ක කාලයක් අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබූ කොවිඩ් මළ සිරුරකින් ලබා ගත් ජෛව සාම්පල පසුගිය 9 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමේදී එම මළ සිරුරේ කොවිඩ් වෛරසය ඇති බවට තහවුරු වී තිබේ.
කොවිඩ් වැලඳීම හේතුවෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර, අනතුරුව කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ 79 හැවිරිදි පුද්ගලයකුගේ මෘත දේහයක් මෙලෙස පරීක්ෂාවට ලක්කර තිබේ.
මෙම මෘත දේහය ආදාහනය කිරීම ඔහුගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප ඇති අතර, මළසිරුර රැගෙන යාමට රෝහලට පැමිණ නැත. එම තත්වය නිසා අදාළ මෘත දේහය දින 29ක් අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබී ඇත.
තෙවැනි වතාවටත් මෙම මෘත දේහයෙන් ලබාගත් ජෛව සාම්පල පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුවත් වෛරසය ශරීරය තුළ පවතින බවට මේ අනුව තහවුරු වී ඇත.
මෙම මෘත දේහය පසුගිය 9 වැනිදා රෝහල් බලධාරීන් විසින් ආදාහනය කිරීමට කටයුතු කර තිබේ.