LK reports news sinhala

දිනෙන් දින ප්‍රගතිය කථානායකවරයාට වාර්තා කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරයි.

ගාලු මුවදොරදී සහ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දිනෙන් දින කථානායකවරයාට වාර්තා කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“මම පොලිස්පතිතුමාට කතා කරලා විමර්ශනවල සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිසිය ලබාගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව විමසා තිබෙනවා. මම ඔහුට කිව්වා ප්‍රගතිය දවසින් දවස කතානායකවරයාට වාර්තා කරන්න කියලා.

“විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාර මම දැනටමත් හෙළා දැක තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවේ සිටින අපි අද කළ යුතු යුතුකම තේරුම් ගත යුතුයි යැයි මන්ත්‍රීවරුන්ගේ කෑගැසීම් මධ්‍යයේ ඔහු පැවසීය.

“මම ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායමට සහභාගි වී නැති අතර අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා නියෝජ්‍ය කථානායක ධුරයට පත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ගැන මම දැනගෙන හිටියේ නැහැ. එසේම කිසිදු දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම්වලට සහභාගි වීමට මා අදහස් නොකරන බවද ඔහු පැවසීය.

පසුගිය වර රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායකවරයාට තේරී පත් වූ අවස්ථාවේදී නියෝජ්‍ය කථානායකවරයා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් සහ ඊයේ සහ පෙරේදා පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ද තමාගේ සම්බන්ධයක් නොමැති බව ඔහු කියා සිටියා.

“රට බරපතළ අර්බුදයකට මුහුණ දී තිබෙන නිසා රට බේරා ගැනීමට සියලුම මන්ත්‍රීවරු එකතු විය යුතු කාලයයි මේ. අර්බුදය ගැන මම විස්තරාත්මකව වෙනත් දිනකින් කතා කරන්නම්, නමුත් අවම වශයෙන් සතියකින් අර්බුදය සම්බන්ධයෙන් කිසිවක් කිරීමට පාර්ලිමේන්තුව අපොහොසත් වුවහොත්, අප කිසිවෙකුට නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණිය හැකි යැයි මම නොසිතමි. ඒ නිසා මම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා එකතුවෙලා යෝජිත විධායක සභාව පත් කරන්න කියලා.” ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *