ද්වේශසහගත සමාජ මාධ්‍ය පළකිරීමක් සම්බන්ධයෙන් අධිකරණ ඇමති CIDයට පැමිණිලි කරයි

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අයෙකුට තමන් හරහා විශේෂ සැලකිලි ලබාදෙන බවට ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පළවූ සටහනක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යවමින් අධිකරණ අමාත්‍යවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එමගින් අධිකරණය ඇතුළු සමස්ත නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියම උපහාසයට සහ අවඥාවට ලක් කරන තත්ත්වයකට පත් කර ඇති බවයි.

විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් අසත්‍ය හා ද්වේෂසහගත ප්‍රකාශයක් කිරීමෙන් සමස්ත නීති පද්ධතියටම දැඩි අගතියක් සිදුවී ඇති බවත්, ඊට පිළියම් යෙදීමට අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඉදිරි කටයුතු සඳහා කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තා කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *