LK reports news sinhala

තේ බීමට රුසියෝ රුසියානුවෝ

රුසියාව කිව්වම අපට සාමාන්‍යයෙන් මතක් වෙන්නෙ වොඩ්කා. රුසියාව සහ වොඩ්කා එතරම්ම තදින් බැඳී තියෙන දෙකක්. රුසියාවේ විවිධ වොඩ්කා වර්ගත් බොහොමයක් තිබෙනවා. ඉතින්, අපට හිතෙන්න පුළුවන් රුසියාවේ ජනප්‍රියම පානය වොඩ්කා වෙන්න ඇති කියලා. හැබැයි ඇත්ත කාරණේ තමයි, ඒකපුද්ගල පරිභෝජනය ගත්තොත් වොඩ්කාවලටත් වඩා රුසියානුවන් තේ පානය කරනවා.

රුසියානුවන්ගේ වාර්ෂික ඒකපුද්ගල වොඩ්කා පරිභෝජනය ලීටර් 8.3ක්. වාර්ෂික ඒක පුද්ගල තේ පරිභෝජනය ලීටර් 137ක්. වඩා නිවැරදි ක්‍රමයකට කිවහොත්, ඒකපුද්ගල තේ පාරිභෝජනය කිලෝග්‍රෑම් 1.3ක් පමණ වේ. එයින් සියයට 86ක් කළු තේ යි. ඒ වගේම රටේ ජනගහනයෙන් සියයට 94ක් දිනපතා තේ පානය කරනවා.

රුසියාව තේ බීම ආරම්භ කරනුයේ රොමානොෆ් රාජවංශයේ පළමු සාර්වරයා වූ මයිකල් (මිහායිල්) රොමානොෆ්ගේ පාලන සමයේදීය. ඒ අනුව​, දැනට රුසියාවේ තේ පානය කිරීමේ ඉතිහාසය අවුරුදු 400ක් පමණ වනවා.

සුඛෝපභෝගීපානයක් ලෙස​ තේ

මිහායිල් රොමානොෆ් වෙත මුලින්ම තේ ලැබුණේ එකල මොන්ගෝලියා ප්‍රදේශයේ වූ ඛාන්වරයාගෙන්. මෙසේ ලැබුණේ චීන තේ යි. මිහායිල්ගේ රෝග තත්ත්වයන්ට සුදුසු පානයක් ලෙස ඔහුට තේ ලබා දෙනු ලැබුණා. එහෙත් මිහායිල් තේ පානයට කැමැත්තක් දැක්වූයේ නැහැ.

රුසියාවේ තේ ජනප්‍රිය වීමේ පළමු සන්ධිස්ථානය වුණේ මිහායිල් රොමානොෆ්ගේ පුත්‍රයා මෙන්ම ඔහුගෙන් පසු සාර් ලෙස පත්වූ අලෙක්සේයි මිහායිලොවිච් රොමානොෆ්ගේ තේ බීමේ පුරුද්ද යි. සාර් අලෙක්සේයිගේ උදරාබාධ සඳහා තේ කදිම සහනයක් වුණා. ඇත්තෙන්ම “තේ පැන් දින දින වැඩි වැඩියේ – බීමෙන් සිරුරට සැප වැඩි වේ” කියන ගීතය සාර් අලෙක්සේයිට කදිමට ගැලපෙනවා.

සාර්ගේ ශරීර සෞඛ්‍යය වර්ධනයට හේතු වූ බීම ගැන රුසියාවේ ඉහළ පන්තිය අතර පැතිරුණා. මේ අනුව ඔවුන් අතර තේ පානය ජනප්‍රිය වුණා. නමුත් එකල තේ බීම ජනප්‍රිය වුණේ ඉහළ පන්තියේ අය අතර පමණ යි. තේ ආනයනය කිරීමේ දුෂ්කරතාව​ සහ ඒ හේතුවෙන් එය අධික මිල අධික වීම​ මීට බලපෑවා.

ඒ කාලය වන විට රුසියාව අප අද දකින රුසියාව නොවේ. සයිබීරියාව දෙසට රුසියාවේ බලපෑම යොමුවීම පටන් අරන් වැඩි කලක් ගතවී තිබ්බේ නැහැ. ඒ නිසා ඒ දෙසින් වෙළෙඳාම කිරීම පහසු වූයේ නැහැ. ඉතින් රුසියාව තේ මිලට ගත්තෙ එංගලන්තෙන්. එරටට චීනයේ සිට තේ ගෙනෙනු ලැබුණා. මේ තේ එංගලන්තයට ආවේ චීනයේ සිට ඉන්දියන් සාගරය හරහා, දකුණු අප්‍රිකාවට දකුණින් ඇවිත්, ශුභ ප්‍රාර්ථනා තුඩුව අසලින් අත්ලන්තික් සාගරයට පිවිසිලා ඒ ඔස්සේ ඇවිල්ලා යි. මෙය ඉතා දිගු මාර්ගයක් වුණා.

පසුකාලීනව සයිබීරියාවෙ දකුණුදිග ප්‍රදේශය හරහා මොස්කව් සහ සාන්ත පීතර්බුග් දෙසට වෙළෙඳ මාර්ග විවෘත වුණා. නමුත් ඒ කාලෙත් චීන තේ රුසියාවට එන්න වසර තුනක් පමණ කල් ගතවුණා. ඉතින් තේවල මිල තවදුරටත් අධිකව තිබුණා. කෙසේ නමුත් චීන සංස්කෘතිය ගැන මේ කාලෙ විශේෂ අවධානයක් රුසියාවේ ඉහළ පැලැන්තිය තුළ ඇතිවුණා. මහා කැතරින් අධිරාජිණියට චීන තේමාවට තැනූ මාලිගයක් පවා තිබුණා.

නමුත් චීනුන් තේ පානය කරන ආකාරය රුසියානුවන්ට ගැලපුණේ නෑ. ඔවුන් ඊට වඩා විශාල ප්‍රමාණයක් තේ බීමට ප්‍රිය කළා. එහි ප්‍රතිඵලය වුණේ සමෝවාරය බිහි වීම යි.

සමෝවාරය​

රුසියාව කිව්වම ගොඩක් දෙනාට මතක් වන උපකරණයක් තමයි සමෝවාරය​. රුසියන් ජනතාව සමෝවාරය පවිච්චි කරන්නෙ බොහෝකොටම තේ පානය හා සම්බන්ධව යි. සමෝවාරය මුලින්ම බිහි වුණේ සියවස් කිහිපයක් තිස්සේ රුසියාවේ සම්ප්‍රදායික බීමක් වූ බීටින් පිළියෙල කිරීමට භාවිතා කළ භාජනයක් ඇසුරිනුයි. මෙය තේ උණුසුම්ව තබා ගැනීමට උපකාර වුණා. පළමුව සමෝවාර් මහා පරිමාණයෙන් නිපදවූයේ තුලා නගරයේ ජීවත් වූ අයිවන් සහ නසාර් ලිසිත්සින් සොයුරන් විසින්. ඒ 1778 දී යි.

ඒ කාලයේ, එනම් 18 වන සියවසෙහි සමෝවාර් එකක් තිබීම රුසියානු නිවසක ධන බලය පිළිබඳ සංකේතයක් වුණා. ස්වල්ප කලකින් සමොවාර් වර්ග කිහිපයක් බිහි වුණා. විවිධ අවශ්‍යතා සඳහා ජලය උණුසුම්ව තබා ගන්න සමෝවාර්, තේ පිළියෙල කරන සමෝවාර් මෙන්ම ප්‍රදර්ශනය සඳහා වූ සමෝවාර් ද ඒ අතර වුණා. ඒ අවසානයට සඳහන් සමෝවාරයක් තිබීම ධනවත් බවේ පැහැදිලි සලකුණක් වුණා.

19 වන සියවසේ දි වෙළෙඳ සබඳතා දියුණු වුණ බව අප දන්නව​. විශේෂයෙන් සූවස් ඇළ කැපීම නාවික වෙළෙඳාමට වැදගත් ප්‍රබෝධයක් වුණා. එවිට චීන තේ අත්ලාන්තික් සාගරය මඟහැර රුසියාව වෙත පැමිණියා. තේ ගෙනෙන නැව් සූවස් ඇළ ඔස්සේ මධ්‍යධරණියට පැමිණ එතැනින් බොස්පරස් සමුද්‍ර සන්ධිය හරහා කළු මුහුද වෙත පිවිස ඔඩෙස්සාව වෙත ළඟා වුණා.

මේ අතර ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය ද කෙමෙන් ඉදි කෙරෙමින් තිබුණ හෙයින් සයිබීරියාව ඔස්සේ වූ වෙළෙඳ මාර්ග ද වේගවත් වුණා. 19 වන සියවස අවසන් වෙද්දි සාන්ත පීතර්බුග් හා ව්ලැදිවොස්තොක් දුම්රියෙන් යා වීමත් එක්කම මෙම වෙළෙඳ කටයුතු තවත් පුළුල් වුණා. ඒ සමගම තේ මිල ද පහත වැටුණා.

කලක් සමෝවාරය ධනවත්භාවයේ සංකේතයක් වුව ද​, 19 වන සියවස අවසන් වෙද්දි එය බොහෝ නිවෙස්වල ඇති උපකරණයක් බවට පත් වුණා. ඒ වෙද්දී, සමෝවාරයක් නොමැතිකම අන්ත දුගී බවෙහි සංකේතයක් වුණා.

සෝවියට් සමයේ තේ

සෝවියට් විප්ලවයෙන් පසුව නව රජය මත්පැන් පානය අධෛර්යය කිරීමට උත්සාහ කළා. එකල හමුදාවට සහ කම්හල්වලට රජය විසින් නොමිලේ තේ ලබා දුන්නා. නමුත් මේ තේවල ගුණය නම් එතරම් යහපත් තත්ත්වයක වූයේ නැහැ.

සෝවියට් දේශයේ තේ වැවිය හැකි වූ ප්‍රදේශ තුනක් ප්‍රධාන ලෙස හඳුනාගෙන තිබුණා. ඒ ජෝර්ජියාව​, අසර්බයිජානය, සහ රුසියාවේ ක්‍රස්නොදාර් ප්‍රදේශය යි. එහෙත් එහි තේ එතරම් ගුණත්මක වූයේ නැහැ. සාමාන්‍ය ජනයාට ලැබුණ ආයනයික තේ ගෙනෙන ලද්දේ චීනය​, ඉන්දියාව සහ ලංකාව යන රටවලින්. වඩා උසස් තේ ලැබුණේ සෝවියට් පාලන තන්ත්‍රයේ උසස් බලධාරීන්ට සහ නිලධාරීන්ට යි.

රුසියාවේ තේ කලාව දියුණු වීමට සෝවියට් පාලන කාලය ඉවහල් වුණා. නෑදෑ මිතුරන් එක්ව, මේසයක් මත සමෝවාරයක් තබා, බිස්කට්, ජෑම්, මාමලේඩ්, මී පැණි ආදිය සමග තේ පානය කිරීම සන්ධ්‍යා එකමුතුවල සුලබ ක්‍රමයක් වනවා.

රුසියාවේ සුපිරි වෙළඳසල්වල වොඩ්කා වගේම තේ සඳහාත් සැලකිය යුතු ඉඩක් වෙන් වනවා. ඔබ එවන් වෙළෙඳසලකට ගියොත් විවිධ තේ වර්ග දකින්න ලැබෙයි. ඒ අතර ශ්‍රී ලංකාවේ තේ ද දකින්න පුළුවන්. ශ්‍රී ලංකාවේ තේ සඳහා රුසියාවෙන් අති විශාල ඉල්ලුමක් දක්නට ලැබෙන අතරම මෙරට තේ අපනයන වෙළඳපොළේ ප්‍රමුඛතම ස්ථානයක් හිමිකරගැනීමටද රුසියාව සමත්වී තිබේ.

(තොරතුරු හා මූලාශ්‍ර – Roar media)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *